15. 10.
අසඤ්ඤසත්තුපිකකථා
[සඤ්ඤාවිරාග වශයෙන් පැවැති භාවනාව අසඤ්ඤසමාපත්ති ද වෙයි, නිරෝධසමාපත්ති ද වෙයි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති ද වෙයි. මෙසේ සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තීහු, ලෞකිකලෝකෝත්තර වශයෙන් දෙදෙනෙකි. එහි ලෞකික වූවා පෘතග්ජනයා පිළිබඳ වැ ‘අසඤ්ඤසත්තුපිකා’ නම් වෙයි. ලෝකෝත්තර වූවා ආර්ය්යයනට වෙයි. එ ද ‘නාසඤ්ඤසත්තුපිකා’ වෙයි. මේ විභාගය නො කොට නිර්විශේෂයෙන් සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තිය ‘අසඤ්ඤසත්තුපිකා’ නමුයි හේතුවාදනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අසඤ්ඤසත්තුපිකා කථා’ එයි.]
1. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපික (අසංඥාසත්ත්වොත්පත්ති පිණිස) වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය, අදොසකුසලමූලය, අමෝහකුසලමූලය, ශ්රද්ධා වීර්ය්ය ස්මෘති සමාධි ප්රඥා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය අදොසකුසලමූලය අමෝහකුසලමූලය ශ්රද්ධා ... ප්රඥා නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය අදොසකුසලමූලය අමෝහකුසලමූලය ශ්රද්ධා වීර්ය්ය ස්මෘති සමාධි ප්රඥා නැත් නම්,
ස. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට ස්පර්ශ වේදනා සංඥා චේතනා චිත්ත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට ස්පර්ශ වේදනා සංඥා චේතනා චිත්ත නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශ නො කරනුවහට මාර්ගභාවනා ... අචිත්තකයාහට මාර්ගභාවනා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්පර්ශකයාහට මාර්ගභාවනා ... සචිත්තකයාහට මාර්ගභාවනා වෙයි නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්පර්ශකයාහට මාර්ගභාවනා වේ නම් ... සචිත්තකයාහට මාර්ගභාවනා වේ නම්,
ස. පා: භවත, ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා යැ’ යනු නො කියැයුතු මැ යැ.
5. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කිසි කෙනෙක් සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවදනාහු වෙත් නම්, ඔහු හැම අසඤ්ඤසත්තූපිකා නම් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් ‘අසඤ්ඤසත්තූපිකා’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මෙහිදු අසංඥී නො? එහිදු අසංඥී නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් මෙහිත් අසංඥී වේ නම්, එහිත් අසංඥී වේ නම්,
ප. පා: භවත, එකරුණින් ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා යැ’යි කියැයුතු මැ යැ.
අසඤ්ඤසත්තුපිකකථා නිමි.