10. 10.
විඤ්ඤත්ති සීලන්ති කථා
[‘කායවිඤ්‍ඤත්ති කායකර්‍ම නම් වෙයි. වචීවිඤ්‍ඤත්ති වාක්කර්‍ම නම් වෙයි. මෙසේ ගැනීමෙන් විඥප්තිය ශීලයෙකි’ යි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන් හා සම්මිතීයනිකායවාසීන්ගේ ලබ්ධි බිඳුනට ‘විඤ්‍ඤත්තිසීලන්තිකථා’ එයි.]
1. ස. පු: විඥප්තිය ශීල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අයිනාදනින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමයෙහි මිසහසරින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මුසාවායෙන් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අභිවාදනය ශීල වේ ද, හුනස්නෙන් නැඟීම ශීල වේ ද, අඤ්‍ජලිකර්‍මය ශීල වේ ද, සාමීචිකර්‍මය ශීල වේ ද, අසුන් එළවාතැබීම ශීල වේ ද, ශයන එළවාතැබීම ශීල වේ ද, පාදෝනා දිය එළවාතැබීම ශීල වේ ද, පාපුවරු එළවාතැබීම ශීල වේ ද, නෑමෙහි පිට ඉලීම ශීල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: ‘විඥප්තිය ශීලයෙකි’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දුශ්ශීල වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් විඥප්තිය ශීල වෙයි.
වීඤ්‍ඤත්ති සීලන්ති කථා නිමි.
10. 11.
අවිඤ්ඤත්ති දුස්සීල්‍යන්තිකථා
[චිත්තවිප්‍රයුක්ත අපුණ්‍යෝපචයත් ආණත්තියෙන් ප්‍රාණඝාතාදියෙහි අඞ්ගසම්පූර්‍ණත්‍වයත් සඳහා ‘අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ’ යයි ලබ්ධි ගත් මහාසඞ්ඝිකාදීන්ගේ වාද බිඳුනට ‘අවිඤ්‍ඤත්ති දුස්සීලන්තිකථා’ එයි.]
1. ස. පු: අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රාණාතිපාත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අයිනාදන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමයෙහි මිසහසර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මුසවා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පාපකර්‍මසමාදන් වැ දන් දෙන්නහුට පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට යෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...