9. 1. 5. 3.
පඤ්ඤාවිමුත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ‘පඤ්ඤාවිමුත්ත’ ‘පඤ්ඤාවිමුත්ත’යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගලයා දෙසන ලද්දේ දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
තවද ඇවැත්නි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළැඹ වාසය කරන්නේ ය. (චතුර්‍ත්‍ථධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥා විමුක්තයා දෙසන ලද්දේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. (නේවසඤ්ඤානාසඤ්ඤායතන විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ප්‍රඥාවිමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණ කොට සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතන වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගල නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලද්දේ යි.
9. 1. 5. 4.
උභතෝභාගවිමුත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ‘උභතෝභාගවිමුත්තය’ ‘උභතෝභාගවිමුත්තය’ යි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් උභතෝභාගවිමුත්ත පුද්ගල දෙසන ලදුයේ දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව මැ ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු එම දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (නෙවසඤ්ඤානාසඤ්ඤා විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුත්ත පුද්ගල දෙසන ලද්දේ ය ...