5. සාමඤ්ඤ වර්ගය
9. 1. 5. 1.
සම්බාධ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වාස කෙරෙත්. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හා සමඟ සතුටු වූහ. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි, පඤ්චාලචණ්ඩ දේවපුත්ර විසින් මෙය කියන ලද:
1. සිවුසස් පිළිවිදි (එකී භාවයෙන්) ප්රතිලීන වූ ද (උත්තමාර්ත්ථයෙන්) නිසභ වූ ද යම් බුද්ධ වූ මුනිවරයෙක් ධ්යානය අවබෝධ කළේ ද ඒ මහාප්රාඥ තෙමේ එකැතින් පඤ්චකාමගුණ සඞ්ඛ්යාත සම්බෝධයෙහි අවකාශ දතුයේ ය.
ඇවැත්නි, සම්බාධ නම් කවර? භාග්යවතුන් විසින් වදාරන ලද සම්බාධයෙහි ඕකාසාධිගමය කවර?
ඇවැත්නි, මේ පස්කම් ගුණ භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි වදාරන ලද, කවර පසෙක යත්: චක්ෂුර්විඥාන ග්රාහ්ය ඉෂ්ට කාන්ත මනාප ප්රියස්වරූප කාමෝපසංහිත රජනීය රූපයහ, ශ්රොතවිඥාන ග්රාහ්ය ශබ්දයහ … ඝ්රාණවිඥාන ග්රාහ්ය ගන්ධයහ … ජිව්හාවිඥාන ග්රාහ්ය රසයහ … කායවිඥානග්රාහ්ය ඉෂ්ට කාන්ත මනාප ප්රිය රූප කාමෝපසංහිත රජනීය ස්ප්රෂ්ටව්යයහ. ඇවැත්නි, මේ පඤ්චකාම ගුණ භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි කියන ලද.
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්රථම ධ්යානයට පැමිණ වාසය කරන්නේය. ඇවැත්නි, මෙ පමණෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, පර්ය්යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විතර්ක විචාරයෝ අනිරුද්ධ වෙත් නම් මේ මෙහි සම්බාධ වෙයි.
තවද ඇවැත්නි, මහණ විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් … ද්විතීය ධ්යානයට එළැඹ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ පමණකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් ඕකාසාධිගමය කියන ලද, පර්ය්යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධය කවර? යම් හෙයකින් එහි ප්රීතිය අනිරුද්ධ වේ නම් මේ එහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ ප්රීතියගේ ද විරාගයෙන් ද … තෘතීය ධ්යානයට පැමිණ වාස කරනේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, එහිදු පර්ය්යායයෙන් සම්බාධය ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි උපේක්ෂා සුඛය අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධය වෙයි.
තවද ඇවැත්නි, මහණ සුඛප්රහාණයෙනුදු … චතුර්ත්ථධ්යානයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද පර්ය්යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි රූපසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ වෙයි.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්රමණයෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තය යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු සම්බාධයෙහි ඕකාසාධිගම ය භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද, පර්ය්යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකාසානඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ ද මේ මෙහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් ආකාසානඤ්චායතන ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලද, පර්ය්යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විඤ්ඤාණඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය දෙසන ලද පර්ය්යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.