9. 1. 5. 2.
කායසක්ඛී සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, කායසක්ඛී, කායසක්ඛී යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්යවතුන් වහන්සේ විසින් කායසක්ඛී පුද්ගලයා දෙසන ලද්දේ දැයි:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්රථම ධ්යානයට පැමිණ වාසය කරන්නේ ය. යම් යම් සෙයකින් ඒ (ප්රථම ධ්යාන සඞ්ඛ්යාත) ආයතන වේ නම් ඒ ඒ සෙයින් ඒ සමාපත්තිය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ ය.
ඇවැත්නි, තවද, මහණ විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් … ද්විතීය ධ්යානයට … තෘතීය ධ්යානයට … චතුර්ත්ථධ්යානයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ (චතුර්ත්ථධ්යාන සඞ්ඛ්යාත) ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ විසින් පර්ය්යායයෙන් කායසක්ඛී පුද්ගල කියන ලද්දේ ය.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්රමයෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේය … සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්රමණ කොට ‘විඤ්ඤාණය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැහැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්යවතුන් වහන්සේ කායසක්ඛී පුද්ගලයා පර්ය්යායයෙන් දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරන්නේ ය. ප්රඥායෙනුදු දැක ආස්රවයෝ පරික්ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් නාම කායයෙන් පැහැස වාසය කරන්නේ ය. ඇවැත්නි, එතෙකිනුදු භාග්යවතුන් වහන්සේ නිෂ්පර්ය්යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ යි.
9. 1. 5. 3.
පඤ්ඤාවිමුත්ත සූත්රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ‘පඤ්ඤාවිමුත්ත’ ‘පඤ්ඤාවිමුත්ත’යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණෙකින් භාග්යවතුන් වහන්සේ විසින් ප්රඥාවිමුක්ත පුද්ගලයා දෙසන ලද්දේ දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්රථම ධ්යානයට එළැඹ වාස කරන්නේ ය. (ප්රථම ධ්යාන විදර්ශනා සඞ්ඛ්යාත) ප්රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්ය්යායයෙන් භාග්යවතුන් වහන්සේ විසින් ප්රඥාවිමුක්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
තවද ඇවැත්නි, මහණ විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් … ද්විතීය ධ්යානයට … තෘතීය ධ්යානයට … චතුර්ත්ථ ධ්යානයට එළැඹ වාසය කරන්නේ ය. (චතුර්ත්ථධ්යාන විදර්ශනා සඞ්ඛ්යාත) ප්රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්ය්යායයෙන් භාග්යවතුන් වහන්සේ විසින් ප්රඥා විමුක්තයා දෙසන ලද්දේ ය.