9. 1. 4. 9.
ආරඤ්ඤකනාගෝපම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක වනවැසි ගොදුරු සෙවුමට යන ඇත්රජහුගේ පෙරට පෙරට ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද තණඅක් සිඳිති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි. මහණෙනි, යම් කලෙක්හි ගොදුරු සෙවුමට යන ඒ වනවැසි ඇත්රජහු විසින් නතු-නතු කොට තැබූ අතු කඩ මහ ඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්තු ද ඇත් පොව්වෝ ද කති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි. ජුගුප්සා කෙරෙයි.
මහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජහු පෙරට පෙරට ව ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද සොඬින් දිය අළලති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
මහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජුගේ සිරුර ඇතින්නෝ ගටා යෙත් ද, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
මහණෙනි, එකල වනවැසි ඇත්රජහට මෙවන් සිතෙක් වෙයි: “මෙ සමාහි මම් මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් වෙසෙම්. සුන්අග් ඇති තණුදු කමි. ම විසින් නතු-නතු කොට තැබූ අතුකඩදු කති. කැලැත් දිය ද බොමි. පැන්තොටට බට මාගේ සිරුර ගටමින් ඇතින්නෝ යෙති. මම් ගණයාගෙන් එකලා වූයෙම් දුරු වූයෙම් නම් යෙහෙකැ”යි.
හේ පසු කල්හි එකලා වූයේ ඇත්ගණයා කෙරෙන් වෙන් වූයේ වෙසෙයි. නො සුන් අග් ඇති තණුදු කයි. ඔහු විසින් නතු නතු කොට තැබූ අතුකඩදු නො කති. නො කැලැත් පැනුදු බොයි. පැන්තොටට බට ඔහුගේ සිරුර ඇතින්නෝ ගටා නො යෙත්. මහණෙනි, එ සමාහි වනවැසි ඇත්රජුට මෙ බඳු සිතෙක් වෙයි:
“මම වනාහි පෙර මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් විසීමි. සුන්අග් ඇති තණුදු කෑයෙමි. මවිසින් නතු නතු කොට තැබූ අතුකඩුදු කෑ හ. කැලැත් පැනුදු පීමි. පැන්තොට වන් මාගේ සිරුර ඇතින්නෝ ගටමින් ගියහ. ඒ මම් එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙමි. නො සුන් අක් තණුදු කමි. මා විසින් නතු නතු කොට තැබූ අතුකඩ ද (ඔහු) නො කත්. නො කැලැත් පැනුදු බොමි. ඇතින්නෝ තොට වන් මා සිරුර ද නො ගටමින් යෙති.” හේ සොඬින් අතුකඬක් බිඳ බුන් අතුකඬින් කය පිරිමැද තුටු සිත් ඇත්තේ කැසිලි නසයි.
මහණෙනි, එ සෙයින් ම යම් කලෙක්හි මහණ, මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජු විසින් රජමහ ඇමැතියන් විසින් තොටුවන් විසින් තොටුසව්වන් විසින් නො මුසු වූයේ වෙසේ ද, මහණෙනි, එසමයෙහි මහණ හට මෙ බඳු සිතෙක් වෙයි: මම් වනාහි මෙ සමාහි මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජුන් විසින් රජමහ ඇමතියන් විසින් තොටුවන් විසින් තොටු සව්වන් විසින් මුසුයෙම් වෙසෙමි. මම එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙම් නම් මනා”යී. හේ වනය, රුක්මුල් ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත ය, අභ්‍යවකාශය, පිදුරුරැස ය, යන විවික්තශයනාසන බෙජෙයි. හේ අරනට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස්ගෙට ගියේ වේවයි පළක් බැඳ සිරුර ඉදි වැ තබා ගෙන සිහි පෙරට කොට එළවා හිඳියි.