4. මහා වර්‍ගය
9. 1. 4. 1.
අනුපුබ්බවිහාර සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනුපිළිවලින් සමවැදිය යුතු විහාරයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් (ඉක්මවීමෙන්) අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ඇති චිත්තයාගේ එක අරමුණෙක්හි උදා වූ බව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කෙරෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සෞම්‍යතස්ස දෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කෙරෙයි.
සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිමාකාසය අනන්තය’යි ආකාසානඤ්චායතනය ට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කෙරෙයි.
මහණෙනි, මේ නවානුපූර්‍වවිහාර යෝ යි.
9. 1. 4. 2.
අනුපුබ්බවිහාර සමාපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නවානුපූර්‍වවිහාරසමාපත්තීන් දෙසමි. එය අසවු … මහණෙනි, අනුපූර්‍ව විහාර සමාපත්තීහු නවදෙන කවරහු ද යත්:
1. යම් තැනෙක් හි කාමයෝ නිරුද්ධ වෙත් ද, යම්කෙනෙක් කාමයන් පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ඒ අංගයෙන් (තෘෂ්ණාදෘෂ්ටි ක්‍ෂුධා නැතියෙන්) නිච්ඡාතයහ. (ඇතුළත තවන කෙලෙසුන් නැතියෙන්) නිබ්බුතය හ. (කාමතණ්හා නැතියෙන්) තිත්තණ්හයහ. (කාමයෙහි පරතෙරට ගියෙන්) පාරගතයහ යි කියමි. කාමයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවුරු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් ද: මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි යමෙක් මෙසේ කියා නම්, හේ මෙසේ කිය යුතු වන්නේ ය:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මෙහි කාමයෝ නිරුද්ධ වෙත්, ඔහු දු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට වඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.
2. යම් තැනෙක් හි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක් විතර්‍කවිචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් (තණ්හා දිට්ඨි නමැති සාගිනි නැතියෙන්) නිච්ඡාතය හ. (ඇතුළත තවන කෙලෙස් නැතියෙන්) නිබ්බුතයහ, (කාම තණ්හා නැතියෙන්) තිත්තණ්හයහ, පාරගතයහ, (කාමයෙහි පරතෙරට ගියහ)යි කියමි. විතර්‍ක විචාරයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවරහු විතර්‍ක විචාරයන් පුනපුනා නිරුද්ධ කොට වාසය කරත් ද, ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම්, හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්, ඔහු ද විතර්‍ක විචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත්ය’යි. මහණෙනි, එකැතින් අශඨවූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්ගේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.