9. 1. 4. 10.
තපුස්සගහපති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මලත ජනපදයෙහි උරුවේලකප්ප නම් මලතයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වාහ්නයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන උරුවේලකප්පයට පිඬු පිණිස වන්සේක. උරුවේලකප්පයෙහි පිඬු සිඟා හැසිර පසුබතෙහි පිඬුවායෙන් වැළකුණාහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, මම් දිවාවිහාර පිණිස මහාවනයට යම්තාක් වදනෙම් නම් තෙපි ඒ තාක් මෙහි ම රඳව”යි. ‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් හට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුක් මුලෙක දිවා විහරණ සඳහා වැඩ හුන් සේක.
ඉක්බිති තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් තෙනෙක්හි ද එහි එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරුන් හට තෙල කීය:
වහන්ස, ආනන්‍දයෙනි, ගෘහස්ථ වූ අපි කම්සුව විඳුනාහු කාමයෙහි ඇලුණාහු කාමයෙහි වෙසෙසින් ඇලුණාහු කාමයෙන් තුස්නාහු වම්හ. හිමියෙනි, කාමභෝගී වූ කාමාරාම වූ කාමරත වූ කාමසම්මුදිත වූ ගිහිගෙහි වසන ඒ අපට යම් මේ (ප්‍රවුජ්‍යාසඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය ප්‍රපාතයක් මෙන් වැටහෙයි. වහන්ස, මේ ධර්‍මවිනයෙහි තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි (අරමුණු වසයෙන්) නො බැස ගනියි. (එ අරමුණු කොට) පහදියි. (එහි ම) පිහිටයි. (සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය බොහෝදෙන සමග සභාග නොවන්නේයි.
ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස තෙල කථා ප්‍රාහෘතයෙක් (කථා මූලයෙක්) වෙයි. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද, එහි එළැඹෙමු. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හට මෙ කරුණ සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයෙකින් අපට පවසන සේක් නම් එසෙයින් එ ධරම්හ යි. ‘එසේ ය වහන්සැ’යි තපුස්ස ගෘහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් ඇස්වීය. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තපුස්ස ගැහැවිහු සමඟ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක වූහු නම් එතනට එළැඹියහ. එළැඹ … භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, මේ තපස්සු ගැහැවි මෙසේ කියයි: “වහන්ස, ආනන්‍දයෙනි, අපි කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත වූ ගිහියම්හ. වහන්ස, කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත ගිහි වූ ඒ අපට මේ නෛෂ්ක්‍රම්‍යය (පැවිද්ද) ප්‍රපාතයක් මෙන් වැටහෙයි. මේ ධර්‍මවිනයෙහි තෙල (නෛෂ්ක්‍රම්‍යය) ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත බැස ගනියි, පහදියි, සිටියි, (ඒ අරමුණුකොට සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල පුවත මා විසින් අසන ලද්දේ ය. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් ඒ මේ කරුණ බොහෝ දෙනා සමඟ අසදෘශ ය”යි.
ආනන්‍දය, තෙල කරුණ එසේ ම ය. ආනන්‍දය, තෙල කරුණ එසේ මැ යි. සම්බෝධියෙන් පෙර ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට දු නෛෂ්ක්‍රම්‍යය මැනැවි, ප්‍රවිවේකය මැනවි යන තෙල සිත වී ය. තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යය කෙරෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (ඒ අරමුණු කොට කෙලෙසුන්ගෙන්) නො මිදේ. ආනන්‍දය, ඒ මට තෙල සිත විය: “තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නෛෂ්ක්‍රම්‍යයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, (ඒ අරමුණු කොට කෙලෙසුන් කෙරෙන්) නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවරැ”යි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් කාමයන්හි ආදීනව නො දක්නා ලද ම ය, හේ ද මා විසින් අබහුලීකෘත ය, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ නො කරන ලද, හේ ද මා විසින් ආදරයෙන් සේවන නො කරන ලද, එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි නො බැස ගනියි. නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන් ගෙන්) නො මිදෙයි”.
ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම කාමයන්හි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ලැබ එය අවබෝධ කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යෙයහි යම් හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, (කෙලෙසුන් කෙරෙන්) මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත්ම ය.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවනය කෙළෙමි. තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ නෛෂ්ක්‍රම්‍යයෙහි පනියි, පහදියි, පිහිටයි, (ඒ අරමුණුකොට කෙලෙසුන් කෙරෙන්) මිදෙයි.
ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමසහගත සංඥාමනසිකාරයෝ (මනෝද්වාරයෙහි) හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට හුදු ආබාධ පිණිසම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට කාමසහගතසංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.