9. 1. 4. 8.
දේවාසුරසඞ්ගාම සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යටගියදවස වූවක් කියමි: දෙවාසුර සංග්රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සඞ්ග්රාමයෙහි අසුරයෝ දිනූහ, දෙවියෝ පැරදුණහ. මහණෙනි, දෙවියෝ පැරදුණාහු උතුරදිශාභිමුඛ වැ පලාගියාහු ම ය. අසුරයෝ ලුහුබැඳියහ. මහණෙනි, ඉක්බිති දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳිත් මැ යි, අපි අසුරයන් හා දෙවනවටත් යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, දෙවනවටදු දෙවියෝ අසුරයන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටදු අසුරයෝ ම දිනූහ, දෙවියෝ පැරදුණහ. පැරදුණාහු ද දෙවියෝ බියපත්ව උත්තරාභිමුඛව පැන ගියහ. අසුරයෝ ලුහුබැඳියහ.
මහණෙනි, එකල්හි දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳනාහු මැ යි, තෙවනවටදු අසුරයන් හා යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, තෙවනවටදු දෙවියෝ අසුරයන් හා සමග යුද වන්හ. මහණෙනි, තෙවනවටත් අසුරයෝ ම දිනූහ. දෙවියෝ පැරදුණාහ. මහණෙනි, පැරදුණාහු ද දෙවියෝ භීතව දේවපුරයට ම වන්හ.
මහණෙනි, දෙව්පුරයට ගිය දෙවියනට ද තෙල සිත විය: ‘භීරුත්රාණයට (භය නැති තැනට) ගිය සිතින් අපි දැන් වාසය කරම්හ. අසුරයන් විසින් අකරණීය යම්හ (කිසිත් නොකළ යුත්තම්හ) යි. මහණෙනි, අසුරයනට ද තෙල සිත විය: දැන් දෙවියෝ භීරුත්රාණයට ගිය සිතින් වාස කරත්. අප විසින් අකරණීය (කිසිවක් නොකළ යුත්තාහ) වෙති යි.
මහණෙනි, පෙර වූවක් කියමි: දෙවාසුර සඞ්ග්රාමයෙක් එළැඹ සිටියේ ය, මහණෙනි, ඒ සඞ්ග්රාමයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුනු අසුරයෝ දක්ෂිණාභිමුඛ වූවාහු පලාගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ; මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැ”යි. “අපි දෙවියන් හා සමඟ දෙවනවටදු යුදවදනමෝ නම් යෙහෙකැ”යි. මහණෙනි, දෙවනවටත් දෙවියන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටත් දෙවියෝ ම දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණා වූ අසුරයෝ දක්ෂිණාභිමුඛ ව පැන ගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ. මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැයි, අපි තෙවනවටදු දෙවියන් හා යුද වදිමුනම් යෙහෙකැ”යි. මහණෙනි, තෙවනවටත් අසුරයෝ දෙවියන් හා යුදවන්හ. මහණෙනි, තෙවනවටත් දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, අසුරයෝ පැරදුණාහු ම බියපත් ව අසුරපුරයට ම වන්හ. මහණෙනි, අසුරපුරයට ගියා වූ අසුරයනට තෙල සිත විය: දැන් වනාහි අපි භීරුත්රාණගත වූ සිතින් වාසය කරමු. දෙවියන් විසින් අකරණීය යම්හ”යි. මහණෙනි, දෙවියනට තෙල සිත විය: මෙකල්හි අසුරයෝ භීරුත්රාණගත සිතින් වාසය කරත්. අප විසින් අකරණීය වෙත්”යි.
මහණෙනි, එ පරිදි ම යම් සමයෙක්හි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්රථමධ්යානයට එළැඹ වාස කරයි ද, මහණෙනි, එකල්හි මහණහට මෙබඳු සිතෙක් වෙයි: මෙකල්හි මම් භීරුත්රාණගත චිත්තයෙන් වාසය කරමි. මාරයා විසින් අකරණීය වෙමි’යි.
මහණෙනි, පාපී මාරයාහට ද තෙල සිත වෙයි, දැන් මෙ සමයෙහි මහණ භීරුත්රාණගත චිත්තයෙන් වාස කරන්නේ ය, මා විසින් අකරණීය වෙයි.
මහණෙනි, යම් සමයෙක්හි මහණ විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් ද්විතීය ධ්යානයට … තෘතීය ධ්යානයට … චතුර්ත්ථධ්යානයට … එළැඹ වෙසෙයි ද, මහණෙනි, එසමයෙහි මහණහට මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙසෙමෙහි මම් භීරුත්රාණගත චිත්තයෙන් වාස කරමි. මාරයා විසින් අකරණීය වෙමි”යි. මහණෙනි, මාරහට ද මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙ සෙමෙහි මහණ භීරුත්රාණගත චිත්තයෙන් වාස කරයි. මා විසින් අකරණීය වෙයි.