9. 1. 4. 6.
ආනන්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිත ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ: එ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට ‘ඇවැත්නි, ආනන්‍දයෙනි’ යී පිළිවදන් ඇස් වූහ. ආයුෂ්මත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ විසින් (පඤ්චකාමගුණයෙන්) සම්බාධස්ථානයෙක සත්ත්‍වයන්ගේ විශුද්ධිප්‍රාප්තිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය පිණිස මාර්‍ගයාගේ අධිගමය පිණිස නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අවකාශාධිගමය ඉමහත් සේ පිළිවිඳුනා ලද්දේ ය. ආශ්චර්‍ය්‍ය ය! අද්භූත ය!

“එ ඇස ම (අසම්භින්න) වෙයි. ඒ රූපයෝ ම වෙත්, ඒ රූපායතනය නොදන්නේ ය. එ කන ම (අසම්භින්න) වෙයි, එ ශබ්දයෝ ම වෙත්. ඒ ශබ්දායතනය නො දන්නේ ය. එ නැහැය ම (අසම්භින්න) වෙයි. එ ගන්‍ධයෝ ම වෙත්, ඒ ගන්‍ධායතනය නො දන්නේ ය. එ දිව (අසම්භින්න) ම වෙයි, එ රසයෝ ම වෙත්, එ රසායතනය නො දන්නේ ය. එ කය (අසම්භින්න) ම වෙයි, එ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම වෙත්, ඒ ස්පර්‍ශායතනය නො දන්නේ ය”යි.
මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහ: ඇවැත්නි ආනන්‍දයෙනි, සචිත්තක වූයේ ම ඒ රූපායතනය නො දන්නේ වේ ද, නො හොත් අචිත්තක ව සිට නො දන්නේ වේදැ”යි. ඇවැත, සචිත්තක වූයේ ම එ රූපායතන නො දන්නේ ය. අචිත්තක වූයේ නො දන්නේ නො වෙයි.
ඇවැත්නි, කෙබඳු සංඥා ඇති එ රූපායතන නො දන්නේ වේ ද?
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායතනය උපයා ගෙන වෙසෙයි. ඇවත, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතන නො දන්නේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඥානය අනන්තය” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතනය නො දන්නේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් ඒ ආයතනය නො දන්නේ ය.
ඇවැත්නි, මම එක් කලෙක සාකේත නුවර අඤ්ජනවනයෙහි මිගදායෙහි වෙසෙමි. ඇවැන්ති, එකල ජටිලගහ නුවර වැසි මෙහෙණ මා වෙත එළැඹුණු ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියා. ඇවැත්නි, එකත්පසෙක සිටි ජටිලගාහියා මෙහෙණ මට තෙල කිවුය: “වහන්ස, ආනන්‍දයෙනි, යම් මේ සමාධියෙක් (රාග විසින්) නැඟ නො සිටුනේ වේ ද, (දෝෂ විසින්) බැස නො සිටුනේ වේ ද, සංස්කාරයෙන් (සප්‍රයෝගයෙන්) කෙලෙසුන් මැඩ වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් පිහිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූ යේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, වහන්ස, ආනන්‍දය, මේ සමාධිය කිනම් ඵල ඇතියේ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද දැ”යි?
ඇවැත්නි, මෙසේ කී කල්හි ජටිලගාහියා මෙහෙණට මම තෙල කීමි. “බුහුන, යම් මේ සමාධියෙක් (රාග විසින්) පෙරට නතුයේ නො වේ ද (දෝෂ වසයෙන්) බැස නොසිටුනේ වේ ද, සප්‍රයෝගයෙන් කෙලෙසුන් නිගෙන වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් සිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූයේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, බුහුන මේ සමාධිය අර්‍හත්‍වය ඵල කොට ඇතැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේ ද වනාහි ඒ ආයතනය නො දන්නේ ය”යි.
9. 1. 4. 7.
ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ලෝකායතශාස්ත්‍රය හදාරන බ්‍රාහ්මණ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
භවත් ගෞතමයන් වහන්ස, සර්‍වඥ සර්‍වදර්ශී පූර්‍ණකාශ්‍යප අපරිශේෂ ඥානදර්‍ශනය පිළිණ කෙරෙයි: “යන්නාවූත් සිටිනාවූත් සුප්තවූත් නිදිවැරීමෙහි යෙදුණවූත් මට හැමකල්හි නිරතුරු ව ඥානදර්‍ශනය එළැඹ සිටියේය යි: හේ මෙසේ කියයි: “මම් අනන්තඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියා යි.