9. 1. 4. 4.
ගාවීඋපමා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් පරිදි බාල අව්යක්ත ක්ෂේත්රය නොදන්නා පර්වතයෙහි හැසිරෙන දෙන විසම පර්වතයෙහි සරනට අසමත් වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම නො ගිය විරූ දිගට යෙම් නම්, නො කෑ විරූ තණ කන්නෙම් නම්, නො පී විරී පැන් බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඔ පළමු පා මොනවට පිහිටියක් කොට නො පිහිටුවා පැසුළු පා නඟයි. ඕ නො ගිය විරූ දිගට නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නො පී විරී පැන් නො බොයි. යම් පියසෙක්හිදු සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට යෙමි යි, නො කෑ විරූ තණ ද කමි යි, නො පී විරී පැනුදු බොමි”යි එ පියසට නිදුකින් පෙරළා නො යෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බාල අව්යක්ත ක්ෂේත්රඥ නො වූ ඒ දෙන යම් හෙයකින් විසම පර්වතයෙහි සරනට නො සමත් ද, එහෙයිනි.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි බාල අව්යක්ත ක්ෂේත්රඥ නො වන අදක්ෂ වූ කිසියම් මහණෙක් කාමයන්ගෙන් වෙන් වැ ම අකුශල ධර්මයන්ගෙන් වෙන් වැ සවිතර්ක සවිචාර විවේකජ ප්රීතිසුඛ ඇති පළමු දැහැන උපයා වෙසෙයි. හේ ඒ දැහැන් නිමිත්ත පුනපුනා සේවනය නො කෙරෙයි, නො වඩයි, බහුල විසින් නො කරයි, මොනවට ඉටන ලද්දක් කොට නො ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් … දෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් මැනව”යි. හේ විතර්ක විචාරයන්ගේ ව්යුපශමයෙන් දෙවන දැහැනට එළැඹ වසනට නො හැකියේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාමයන්ගෙන් වෙන් වැ ම පළමු දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ කාමයන්ගෙන් වෙන්වැ … පළමු දැහැනට එළඹ වසනට නො හැකි වෙයි. මහණෙනි, මෙ මහණ දෙපසින් නටුයේ දෙපසින් පිරිහුනේ යයි කියනු ලැබේ. බාල අව්යක්ත ක්ෂේත්රඥ නො වන පර්වතයෙහි සරණ ඒ දෙන විසම පර්වතයෙහි සරනට අදක්ෂ වූවා යම් සේ ද, එ මෙනි.
මහණෙනි, පණ්ඩිත ව්යක්ත ක්ෂේත්රඥ වූ පර්වතයෙහි සරණ දෙනක් විෂම පර්වතයෙහි සරනට යම්සේ දක්ෂ වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම් නො ගිය විරූ දිගට යෙම් නම් නො කෑ විරූ තණ ද කන්නෙම් නම් නො පී විරී පැන් ද බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඕ පළමු පා මොනවට පිහිටියක් කොට තබා පැසුළු පා නඟයි, ඕ නො ගිය විරූ දිගට ද යයි, නො කෑ විරූ තණ ද කයි, නො පී විරී පැන් ද බොයි. යම් පියෙසෙකැ සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට ද යමි. නො කෑ විරූ තණ ද කමි. නො පී විරි පැන් ද බොමැ” යි, එ පියසට නිදුකින් පෙරළා එයි. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත ව්යක්ත ක්ෂේත්රඥ ඒ දෙන විෂම පර්වතයෙහි සරනට සමත් වේ ද, එහෙයිනි.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි පණ්ඩිත ව්යක්ත ක්ෂේත්රඥ දක්ෂ කිසියම් මහණෙක් කාමයෙන් වෙන් වැ ම අකුශල දහමින් වෙන් වැ … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත පුනපුනා සේවනය කෙරෙයි, වඩයි, බහුලීකෘත කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්ක විචාරයන්ගේ ව්යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි, හේ දෙවන දැහැන නො පෙළනුයේ විතර්ක විචාරයන්ගේ ව්යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.