9. 1. 3. 8.
ද්විතීය වෙරභය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක අරීසවුහට පස් භීතිහු ද වෙරයෝ ද, සන්හුන් වෙත් ද, සිවුසෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය, ‘ක්‍ෂය කළ නිරෑ ඇතියෙමි, ක්‍ෂය කළ තිරිසන්යොන් ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් මම සොවන්මී. අවිනිපාතස්වභාව ඇතියෙමි. නියතයෙමි. සම්බෝධිය පරායණ කොටගතිමි’ කියායි. කවර පඤ්චභීතීහු පඤ්ච වෙරයෝ සන්හුන් වෙත් ද … මේ පඤ්චභීතීහු පඤ්චවේරයෝ සන්හුන් වෙති.
කවර සිවු සෝවන් අඟින් සමන්‍වාගත වේ ද … මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වෙයි.
මහණෙනි, යම් කලෙක අරීසවුහට මේ පඤ්ච භීතීහු පඤ්ච වෛරයෝ සන්හුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය. ‘ක්‍ෂය කළ නිරය ඇතියෙමි, ක්‍ෂය කළ තිරශ්චීන ගති ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙමි, මම ශ්‍රොතාපන්නයෙමි, අවිනිපාත ස්වභාව ඇතියෙමි, නියතයෙමි, සම්බෝධිපරායණයෙමි’ කියා යි.
9. 1. 3. 9.
ආඝාතවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආඝාත වස්තූහු නව දෙනෙකි. කවර නවදෙනෙක යත්:
මට අනර්‍ත්‍ථ කළහ යි කෝපය බඳනේ ය. මට අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මනවඩන ප්‍රියයාහට අනර්‍ත්‍ථ කළහ යි … අනර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථ කළහ යි … අර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේය. මහණෙනි, මොහු නව ආඝාතවස්තූහු යි.
9. 1. 3. 10.
ආඝාතපටිවිනය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආඝාතප්‍රතිවිනයයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක් යත්:
මට අනර්‍ත්‍ථ කෙළේ ය, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට අනර්‍ත්‍ථ කරයි. ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මනවඩනා ප්‍රියයාහට අනර්‍ත්‍ථයක් කෙළේය … අනර්‍ත්‍ථයක් කරයි .. අනර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි.
මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථයක් කෙළේය … අර්‍ත්‍ථයක් කරයි … අර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබියහේදැයි කෝපය සන්හිඳුවයි, මහණෙනි, මොහු නව ආඝාත පටිවිනයෝ ය.