3. සත්තාවාස වර්ගය
9. 1. 3. 1.
ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු තුනෙකින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියන් ද දඹදිව් වැසි මිනිසුන් ද මැඩ සිටුනාහ (විශිෂ්ට වෙති) කවර තුනෙකින් යත්:
මමත්වය නැතියාහු පරිග්රහ රහිතයහ, නියතගති හා ආයු හා ඇතියහ, වෙසෙස් වැඩුම් ඇතියහ. මහණෙනි, මේ තෙකරුණින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
මහණෙනි, කරුණු තුනෙකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ. කවර තුනෙකින් ද යත්:
දිව්ය ආයුෂයෙන, දිව්ය වර්ණයෙන, දිව්ය සුඛයෙනැ. මහණෙනි, මේ තෙකරුණින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
මහණෙනි, තෙකරුණෙකින් දඹදිව්වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ. කවර තුනකින යත්:
ශූරයහ, ස්මෘතිමත් හ, මේ අත්බව්හි බඹසර විසුම ය. මහණෙනි, මේ තෙකරුණින් දඹදිව් වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ.
9. 1. 3. 2.
ඛලුඞ්කෝපම සූත්රය
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, තුන් අස්කුංඩයනුදු තුන් මිනිස් කුංඩයනුදු තුන් අභිජාත අශ්වයනුදු තුන් අභිජාත පුරුෂයනුදු තුන් භද්ර අශ්වාජානේයනුදු තුන් භද්රපුරුෂාභිජානේයයනුදු දෙසමි. ඒ අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසමී’ යි.
‘එසේ ය වහන්සැ’ යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවත්හු තෙල වදාළහ:
මහණෙනි, තුන් අස්කුංඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ අස් කුංඩයෝ තුන්දෙන ය.
මහණෙනි, මිනිස් කුංඩයෝ තිදෙන කවරහ යත්:
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
මහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේද, වර්ණසම්පන්න නො වේද, ආරෝහපරිණාහ සම්පන්න නො වේද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මේ දුකැ’යි යථාභූත කොට (ඇති සැටියෙන්) දනී. ‘මේ දුක්ඛසමුදය’යි යථාභූතය දනී. ‘මේ දුක්ඛනිරෝධය’යි යථාභූත කොට දනී. ‘මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදා’යි යථාභූත කොට දනී. මේ ඔහුගේ ජවයෙහි ලා කියමි. අභිධර්මවිෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ (කථාව) හිඳුවයි. විසර්ජනා නො කෙරෙයි. මේ ඔහුගේ අවර්ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබනසුලු වෙයි. මෙය ඔහුගේ අනාරෝහපරිණාහයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න වෙයි. වර්ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි.