9. 1. 3. 9.
ආඝාතවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආඝාත වස්තූහු නව දෙනෙකි. කවර නවදෙනෙක යත්:
මට අනර්‍ත්‍ථ කළහ යි කෝපය බඳනේ ය. මට අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මනවඩන ප්‍රියයාහට අනර්‍ත්‍ථ කළහ යි … අනර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථ කළහ යි … අර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේය. මහණෙනි, මොහු නව ආඝාතවස්තූහු යි.
9. 1. 3. 10.
ආඝාතපටිවිනය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආඝාතප්‍රතිවිනයයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක් යත්:
මට අනර්‍ත්‍ථ කෙළේ ය, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට අනර්‍ත්‍ථ කරයි. ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මනවඩනා ප්‍රියයාහට අනර්‍ත්‍ථයක් කෙළේය … අනර්‍ත්‍ථයක් කරයි .. අනර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි.
මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථයක් කෙළේය … අර්‍ත්‍ථයක් කරයි … අර්‍ත්‍ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබියහේදැයි කෝපය සන්හිඳුවයි, මහණෙනි, මොහු නව ආඝාත පටිවිනයෝ ය.
9. 1. 3. 11.
අනුපුබ්බනිරෝධ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනුපූර්‍ව නිරෝධයෝ නවදෙනෙක. කවර නව දෙනෙක් යත්:
ප්‍රථමධ්‍යානය සමවන්හට කාමසංඥා නිරුද්ධ වෙයි, ද්විතීය ධ්‍යාන සමවන්හට විතර්‍කවිචාරයෝ නිරුද්ධ වෙති, තෘතීය ධ්‍යාන සමවන්හට ප්‍රීතිය නිරුද්ධ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්හට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති, ආකාසානඤ්චායතන සමවන්හට රූපසංඥා නිරුද්ධ වෙයි, විඤ්ඤාණඤ්චායතන සමවන්හට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවන්හට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්හට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වෙයි, සඤ්ඤාවේදයිත නිරෝධ සමවන්හට සංඥා වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මොහු නව අනුපුබ්බ නිරෝධයෝ යි.
තෙවැනි සත්තාවසා වර්‍ග යි.
එහි උද්දානය:
ඨානසූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, තණ්හා (මූලක) සූත්‍රය, සත්තාවාස, පඤ්ඤාපරිචිත සූත්‍ර දෙකය, සිලායූප සූත්‍රය, වෙර සූත්‍ර දෙකෙක, ආඝාත සූත්‍ර දෙකෙක, අනුපුබ්බනිරෝධ සූත්‍රය දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර ඒකාදශයෙකි.