9. 1. 3. 7.
පඨමවෙරභය සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගෘහපතිය, යම් කලෙක අරීසවුහුගේ පස් චිත්තෝත්‍රාස භය ද අකුසල වෛරයෝ ද සන්හුන් වෙත් ද, සතර සෝතාපත්ති මාර්‍ගාඞ්ගයන්ගෙන් සමන්‍වාගත වේ ද, හේ කැමැති වනුයේ තෙමේ ම “ක්‍ෂය කළ නිරා ඇතියෙම් වෙමි, පහවූ තිරිසන් අත්බව් ඇතියෙම් වෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්‍ෂය කළ අවා දුගති විනිපා ඇතියෙම් වෙමි. (සුවයෙන්) නොහෙනසුලුයෙම් නියතයෙම් සම්බෝධිපරායන වූයෙම් සෝවන් වෙමි යී තමා පවසන්නේ ය.”
කවර පඤ්ච භය කෙනෙක් වෛර කෙනෙක් සන්හුන් වූවාහු වෙත් ද යත්:
1. ගෘහපති, පණිවා කරනුයේ පණිවා හේතුයෙන් දෘෂ්ටධාර්මික වූ යම් භයක් වෛරයක් ලබනේ ද, සම්පරායික වූ භයක් වෛරයක් ලබයි ද, චෛතසික දුක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළැකියේ දිටුදැමි වූ ද භය වෛරය නො ම ලබයි. සාම්පරායිකවූ ද භය වෛරය නො ම ලබයි. චෛතසික වූ ද දුක් දොම්නස් නොම විඳියි. පණිවායෙන් වැළකියාහට මෙසේ ඒ භය වෛරය සන්සිඳුනේ වෙයි.
2-5. ගැහැවිය, නුදුන් දෑ ගන්නා සුලුයේ … කාමයෙහි මිසහසර ඇතියේ … මුසවා කියනුයේ … මද පමා දෙකට කරුණු රහමෙර බොනසුලුයේ මද පමා දෙකට කරුණු රහමෙරහේතුයෙන් යම්ම දිටුදැමි භයක් වෛරයක් ලබා ද, සාම්පරායික භයවෛරයක් ලබා ද, චෛතසික දුක්දොම්නසුත් විඳී ද … මදපමා දෙකට කරුණු රහමෙරින් වැළකියාහට මෙසේ ඒ භයවෛර සන්හිඳුනේ වෙයි. මේ පඤ්ච භයවෛරයෝ ව්‍යුපශාන්ත වෙත්.
කවර සෝතාපත්තිමාර්‍ගාඞ්යන් ගෙන් සමන්‍වාගත වේය යත්:
6. ගැහැවිය, මෙ සස්නෙහි අරීසවු බුදුරජුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: “මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි.
7. ධර්‍මයෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, එහිපස්සවිධියට අර්‍හ ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් සිය සතන්හි ලා වේදිතව්‍ය”ය කියා යි.