9. 1. 3. 6.
සිලායූපොම සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ද රජගහනුවර වේළුවනාරාමයෙහි විහරණ කෙරෙත්. එහි දී ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් චන්දිකාපුත්හට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, දෙව්දත් භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්ෂය විය, බඹසරවැස නිමවන ලද, කරණී කරනලද, මෙ රහත්බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි තෙල කියනට වටිනේ”යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්දිකාපුත්ත හට තෙල කීහ: “ඇවැත්නි චන්දිකාපුත්තය, දෙව්දත් භික්ෂූන්ට “ඇවැත්නි යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ක්ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බව් පිණිස කළයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි, මෙසේ දහම් නො දෙසයි. ඇවැත් චන්ද්රිකාපුත්රය, දෙව්දත් භික්ෂූන්ට “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාර පරියායයෙන්) මොනොවට මතුමත්තෙහිත් වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්ෂය විය, බඹසර වසන ලද කරණී කරන ලද, මෙ බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යී, මෙසේ වනාහි දහම් දෙසයි.
දෙවනවටත් … තෙවනවටත් ආයුෂ්මත් චන්ද්රිකාපුත්ර තෙරණුවෝ මහණුන් ඇමතූහ: “ඇවැත්නි, දෙව්දත් භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ගෙවින, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි.
තෙවනවටත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්ද්රිකාපුත්රහට තෙල කීහ: ඇවැත් චන්ද්රිකාපුත්රය, දෙව්දත් භික්ෂූන්හට මෙසේ නහමක් දහම් දෙසයි. “ඇවැත්නි, යම් කලෙක සිට මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වචන ලද වේ ද, ඒ මහණහට දැය ගෙවිණ, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි. ඇවැත් චන්ද්රිකාපුත්රය, මෙසේ වනාහි දෙව්දතු භික්ෂූන්ට දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනාලදුයේ වේ ද, එ මහණහට දැය ක්ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනෙකෙක් නැතැයි දනිමි යන තෙල කීමට වටනේ”යි.
ඇවැත්නි, කෙසේ මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) මොනවට වඩනා ලදුයේ වේ ද, “මාගේ සිත වීතරාගය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතදෝසය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතමෝහය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත ඇලුම් ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත දුෂ්ටවන ස්වභාව නැත්තේ ය”යි සිතින් සිත මොනොවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත මුළාවන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත කාමභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත රූපභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත අරූපභවයෙන් ආවර්තන ස්වභාව රහිතය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි.