9. 1. 3. 5.
පඤ්ඤාපරිචිත සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්රඥායෙන් මොනොවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “ජාතිය ක්ෂය විය, බඹසර වැස නිම වි ය, කරණී කරන ලද, අර්හත්ත්වය පිණිස අනෙකෙක් නැතැයි දනිමි” යන තෙල කියන්නට වටනේ ය.
මහණෙනි, කෙසේ මහණහුගේ සිත ප්රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද? “මා සිත වීතරාගය”යි ප්රඥායෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත වීතද්වේෂය”යි ප්රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත වීතමෝහය”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංරාගස්වභාව නැතැ”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංදූෂණ ස්වභාව නැතැ”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
“මා සිත මෝහනස්වභාව නැතැ”යි ප්රඥාවෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත කාමභවය පිණිස ආවර්තනස්වභාව නැතැ”යි ප්රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත රූපභවය පිණිස ආවර්තනස්වභාව නැතැ”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුනේ වෙයි. “මා සිත අරූපභවය පිණිස ආවර්තනස්වභාව නැතැ”යි ප්රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “දැය ක්ෂය විය, බඹසර වැස නිම විය, කටයුතු කරණ ලදී. මෙ බවට කටයුතු අනෙකක් නැතැයි දනිමි” යන තෙල කියනට වටනේ යි.
9. 1. 3. 6.
සිලායූපොම සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ද රජගහනුවර වේළුවනාරාමයෙහි විහරණ කෙරෙත්. එහි දී ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් චන්දිකාපුත්හට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, දෙව්දත් භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්ෂය විය, බඹසරවැස නිමවන ලද, කරණී කරනලද, මෙ රහත්බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි තෙල කියනට වටිනේ”යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්දිකාපුත්ත හට තෙල කීහ: “ඇවැත්නි චන්දිකාපුත්තය, දෙව්දත් භික්ෂූන්ට “ඇවැත්නි යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ක්ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බව් පිණිස කළයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි, මෙසේ දහම් නො දෙසයි. ඇවැත් චන්ද්රිකාපුත්රය, දෙව්දත් භික්ෂූන්ට “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාර පරියායයෙන්) මොනොවට මතුමත්තෙහිත් වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්ෂය විය, බඹසර වසන ලද කරණී කරන ලද, මෙ බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යී, මෙසේ වනාහි දහම් දෙසයි.