9. 1. 3. 11.
අනුපුබ්බනිරෝධ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනුපූර්‍ව නිරෝධයෝ නවදෙනෙක. කවර නව දෙනෙක් යත්:
ප්‍රථමධ්‍යානය සමවන්හට කාමසංඥා නිරුද්ධ වෙයි, ද්විතීය ධ්‍යාන සමවන්හට විතර්‍කවිචාරයෝ නිරුද්ධ වෙති, තෘතීය ධ්‍යාන සමවන්හට ප්‍රීතිය නිරුද්ධ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්හට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති, ආකාසානඤ්චායතන සමවන්හට රූපසංඥා නිරුද්ධ වෙයි, විඤ්ඤාණඤ්චායතන සමවන්හට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවන්හට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්හට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වෙයි, සඤ්ඤාවේදයිත නිරෝධ සමවන්හට සංඥා වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මොහු නව අනුපුබ්බ නිරෝධයෝ යි.
තෙවැනි සත්තාවසා වර්‍ග යි.
එහි උද්දානය:
ඨානසූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, තණ්හා (මූලක) සූත්‍රය, සත්තාවාස, පඤ්ඤාපරිචිත සූත්‍ර දෙකය, සිලායූප සූත්‍රය, වෙර සූත්‍ර දෙකෙක, ආඝාත සූත්‍ර දෙකෙක, අනුපුබ්බනිරෝධ සූත්‍රය දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර ඒකාදශයෙකි.
4. මහා වර්‍ගය
9. 1. 4. 1.
අනුපුබ්බවිහාර සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනුපිළිවලින් සමවැදිය යුතු විහාරයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් (ඉක්මවීමෙන්) අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ඇති චිත්තයාගේ එක අරමුණෙක්හි උදා වූ බව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කෙරෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සෞම්‍යතස්ස දෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කෙරෙයි.
සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිමාකාසය අනන්තය’යි ආකාසානඤ්චායතනය ට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කෙරෙයි.
මහණෙනි, මේ නවානුපූර්‍වවිහාර යෝ යි.