9. 1. 2. 9.
දේවතා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මෙ රෑ බොහෝ දේවතාවෝ රෑ බෙහෙවින් ඉක්මගිය කල්හි විසිතුරු පැහැ ඇත්තාහු මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිට ගත්හ. මහණෙනි, එකත්පස්ව සිට ගත් ඒ දේවතාවෝ මට තෙල කීහ:
“වහන්ස, පෙර මිනිස් වූ අපගේ අගාරයනට පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි (ඔවුන්ට) ප්‍රත්‍යුපස්ථාන කළම්හ. නො ද අභිවාදනා කළම්හ. වහන්ස, නොපිරිපුන් කම් ඇති ඒ අපි විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් මා වෙත එළැඹ තෙල කීහු: “වහන්ස, පෙර මිනිස් වූ අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදන කළම්හ, නො ද අසුන් දුනුම්හ, වහන්ස, ඒ අපි නො පිරිපුන් කම් ඇත්තෝ විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් ද මා කරා එළැඹ තෙල සැළකළහ: “වහන්ස, පෙර මිනිස් බවට පැමිණි අපගේ නිවෙස් කරා පැවිද්දෝ පැමිණියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදනා කළම්හ. අසුන් ද දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් සංවිභාග නොකළම් හ. දහම් අසනු සඳහා නො ද ළඟ හුනුම්හ … දහම් ඇසුමට ළඟ හුනුම් හ. යොමු කළ කන් ඇත්තමෝ නො ද දහම් ඇසුම්හ … යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහම් නො ම දැරුම් හ … අසා දහම් දැරුම්හ, දැරූ දහමුන්ගේ නො ම අරුත් පිරික්සුම් හ … දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළදම් දැන ධර්‍මානුධර්‍මය නො ම පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි අපරිපූර්‍ණ කර්‍මාන්ත ඇත්තමෝ විපිළිසර වන්නමෝ පසු තැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යී.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙකුදු මා කරා එළැඹ තෙල සැළකළහ.
“වහන්ස, පෙර මිනිස් බවට පැමිණියා වූ ම අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි උවටන් කළම් හ. වන්‍දනා කළම්හ. අසුන් දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් දාන සංවිභාග කළම්හ. දහම් ඇසුමට වෙත හුනුම්හ. යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහමුදු දැරුම්හ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළ දම් දැන ධර්‍මානුධර්‍මය පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි පරිපූර්‍ණ කර්‍මාන්ත ඇත්තමෝ විපිළිසර නො වූමෝ නො පසු තැවෙන්නමෝ ප්‍රණීත කායයට පැමිණියම්හ”යි.
මහණෙනි, තෙල රුක් මුල් ය, තෙල ශූන්‍යාගාර ය, මහණෙනි, ධ්‍යාන කරවු, පමා නො වවු, තෙල පළමු දේවතාවන් සෙයින් පසු නහමක් විපිළිසර වවු යි.
9. 1. 2. 10.
වේලාම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වසනසේක. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හින, එකත් පස්ව හුන් අනේපිඬු ගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. “වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. හෙද වනාහි රූක්‍ෂ වූ කාඩි දිය දෙවනු කොට ඇති නිවුඩු බතෙකැ”යි.
ගැහැවිය, රූක්‍ෂ වේව යි ප්‍රණීත වේව යි දන් දේ නම් හෙද නොසකස් කොට දේ නම් අගරු කොට දේ නම් සියතින් නො දේ නම් නිරතුරු කොට නො දේ නම් කම්පල සඳහා නො දේ නම් යම් යම් ම තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද උදාර භක්තානුභවය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර යානභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර පස්කම්හි ගුණෙහි භොගය පිණිස සිත නො නැමෙයි. ඔහුගේ පුත්‍රයහ කියා වේවයි අඹුහු කියා වේව යි දස්හ කියා වේව යි, ප්‍රෙෂ්‍යයහ (මෙහෙකරු වහල්ලු) කියා වේව යි, කම්කරුහ කියා වේව යි යම් ඒ කෙනෙක් වෙත් නම් උහුත් වදන් අසනු නො කැමැති වෙත්, සවන් නො දෙත්, දැනුමට සිත නො එළවත්, එ කවර හෙයිනැ: ගැහැවිය, නො සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේ ද එහෙයිනි.