9. 1. 2. 10.
වේලාම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වසනසේක. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හින, එකත් පස්ව හුන් අනේපිඬු ගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. “වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. හෙද වනාහි රූක්‍ෂ වූ කාඩි දිය දෙවනු කොට ඇති නිවුඩු බතෙකැ”යි.
ගැහැවිය, රූක්‍ෂ වේව යි ප්‍රණීත වේව යි දන් දේ නම් හෙද නොසකස් කොට දේ නම් අගරු කොට දේ නම් සියතින් නො දේ නම් නිරතුරු කොට නො දේ නම් කම්පල සඳහා නො දේ නම් යම් යම් ම තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද උදාර භක්තානුභවය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර යානභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර පස්කම්හි ගුණෙහි භොගය පිණිස සිත නො නැමෙයි. ඔහුගේ පුත්‍රයහ කියා වේවයි අඹුහු කියා වේව යි දස්හ කියා වේව යි, ප්‍රෙෂ්‍යයහ (මෙහෙකරු වහල්ලු) කියා වේව යි, කම්කරුහ කියා වේව යි යම් ඒ කෙනෙක් වෙත් නම් උහුත් වදන් අසනු නො කැමැති වෙත්, සවන් නො දෙත්, දැනුමට සිත නො එළවත්, එ කවර හෙයිනැ: ගැහැවිය, නො සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේ ද එහෙයිනි.
ගැහැවිය, රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි දන් දේ නම් එ ද සකසා දේ නම් ගරු කොට දේ නම් සියතින් දේ නම් නිරතුරු කොට දේ නම් කම්පල හදහා දේ නම් යම් යම් තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද, උදාර භක්තභෝගය පිණිස සිත නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස සිත නැමෙයි. උදාර යානභෝගය පිණිස සිත නැමෙයි. උදාර පස්කම්ගුණෙහි භොගයට සිත නැමේ. ඔහුගේ පුත්‍රයහ කියා වේව යි අඹුහ කියා වේව යි, දස්හ කියා වේව යි ප්‍රෙෂ්‍යයහ කියා වේව යි කම්කරුහ කියා වේවයි යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහු ද අසනු කැමැති වෙත්. සවන් දෙත්. දැනුමට සිත් එළවත්. එහෙයිනැ: කවර ගැහැවිය, සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේද එහෙයිනි.
ගැහැවිය, පෙරවූවක් කියමි. වේලාම නම් බමුණෙක් වී ය. හේ මෙ බඳු මහාදාන නම් දනක් දින: රිදියෙන් පිරූ සුවාසූ දහසක් රන්මුවා පා දින. රනින් පිරූ සුවාසූ දහසක් රිදීමුවා පා දින. අමුරනින් පිරූ සුවාසූ දහසක් කස්ලෝපා දින. ස්වර්‍ණාලඞ්කාර ඇති රන් දද ඇති රන් රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් ඇතුන් දින. සිහසම් අතුළ, වගසම් අතුළ, දිවිසම් අතුළ, පඬු ඇඹුල් අතුළ රන්ලකර ඇති රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් රිය දින. දුහුල් අතුළ කස්ලෝ කොසු ඇති සුවාසූ දහසක් දෙනුන් දින. මිණි කොඬොල් පැළඳි සුවාසූ දහසක් කන්‍යාවන් දින. කොඳුපලස් අතුළ සුදු ඇතිරි අතුළ ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කණ්වයින් ඇති සුවාසූ දහසක් පළඟ දින. සියුම් කොමු පිළිය, සියුම් කෝසෙය්‍ය පිළිය, සියුම් කම්බිලිය, සියුම් කපුපිළිය යන කෙළ සුවාසූ දහසක් වස්ත්‍ර දින. අන්නපාන ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙය පිළිබඳ කවර කථා ය? නදීන් මෙන් ගලති.
ගැහැවිය, තට මෙ බඳු සිතෙක් වන්නේ ම ය: එසමයෙහි වේලාම බමුණු අනිකෙක් ම විය. හේ මහාදාන නම් ඒ දන දින” යි, ගැහැවිය, තෙල මෙසේ නො දත යුතු: එසමයෙහි මම වේලාම බ්‍රාහ්මණ වීමි, මහාදාන නම් වූ ඒ දන මම දිනිමි.
ගැහැවිය, ඒ දානයෙහි දක්‍ෂිණාර්‍හ කිසිවෙක් නො වීය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව පිරිසිදු නො කෙළේ ය. ගැහැවිය වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනී ද, යමෙකුත් එක් දිට්ඨිසම්පන්න (සෝතාපන්න) යකු වළඳවා ද, මෙය එයට මහත්ඵලතරයි.