9. 1. 2. 8.
නවඞ්ගුපෝසථ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නව අඟින් සමන්‍වාගත පෙහෙවස් වුසූයේ මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහාවිස්ඵාර වෙයි. මහණෙනි, කෙසේ වුසූ නවඟින් සමන්‍වාගත උපෝසථය මහත්ඵල, මහා නෘශංස, මහාද්‍යුතික, මහාවිස්ඵාර වේය යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සිතයි: “යවදිව් රහත්හු පණිවා හැර පණිවායෙන් වැළැකියාහු බහාතැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජාවත් වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී ව විහරණ කරත්: අද මමත් මේ රෑත් මේ දාවලත් පණිවා හැර පියා පණිවායෙන් වැළැකියෙම් බැහූ දඬු ඇතියෙම් බැහූ අවි ඇතියෙම් ලදැතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී වූයෙම් විහරණ කරමි. මෙ කරුණෙනුදු රහතුනට අනුක්‍රියා කරමි. මා විසින් උපෝසථය ද වුසූයේ වෙයි. මේ පළමු අඟින් සමන්‍වාගත වෙයි.
2. “රහත්හු යව්දිව් අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියාහු දුන් දෑ ගන්නා සුල්ලහු දුන් දෑ කැමැතිවන්නාහු නොසොර පිවිතුරු සිතින් වෙසෙත්. අද මමත් මේ රෑත් මේ දාවලත් අයිනාදන් හැරපියා … මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. මේ දෙවන අඟින් සමන්‍වාගත වූයේ වෙයි.
3. “රහත්හු යව්දිව් අබ්‍රම්සර හැර පියා බ්‍රහ්මචාරී වූවාහු ගැමිදම් වූ මෙවුන් දමින් වැළැකියාහු ආරාචාරී වූවාහු වෙත්. දැන් මම ද ... මා විසින් පෙහෙවස් වුසූයේත් වන්නේය. මේ තෙවන අඟින් සමන්‍වාගත වෙයි.
4. ‘රහත්හු යව්දිව් මුසවා හැර පියා මුසවායෙන් වැළැකියාහු සත්‍යවාදී වූවාහු සත්‍යසන්‍ධ වූවාහු ස්ථිර කථා ඇත්තාහු හැදැහිය හැකි තෙපුල් ඇත්තාහු ලොවට අවිසංවාදක වූවාහු වෙත්. දැන් මම ද … වුසුයේ වෙයි. මේ සිවුවන අඟින් සමන්‍වාගත වෙයි.
5. රහත්හු යව්දිව් මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර පියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. අද මම ද … වුසූයේ වෙයි. මේ පස්වන අඟින් සමන්‍වාගත වෙයි.
6. යව්දිව් රහත්හු ඒකභක්තික වූවාහු රාත්‍රි භෝජනයෙන් වැළැකියාහු විකල් බොජුනින් දුරුවූවාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සවන අඟින් සමන්‍වාගත වෙයි.
7. රහත්හු යව්දිව් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්න මල්ගඳ විලවුන් දැරුම් සිරුර උනුතැන් පිරවීම් සිරුරු සැරසුම් යන කරුණින් වැළකියාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සත්වන අඟින් සමන්‍වාගත වෙයි.
8. යව්දිව් රහත්හු උසසුන් මහසුන් හැරපියා උසසුන් මහස්නෙන් වැළැකියාහු මැස්සෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරත්. මම ද අද … වුසුයේ වෙයි. මේ අටවැනි කරුණින් සමන්‍වාගත වෙයි.
9. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙත්සහගිය සිතින් එක් දිගක් පැතිර වාසය කරයි. එපරිදි ම දෙවන … එපරිදි ම තෙවන … එපරිදිම සතරවන ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්ම භාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පැතිර වෙසෙයි.
මහණෙනි, මෙසේ වුසූ නවඟින් යුත් පෙහෙවස මහප්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාජුතික වෙයි. මහාවිප්ඵාර වේය යි.