9. 1. 2. 5.
ගණ්ඩොපම සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නොයෙක් වස් ගණන් ඇති ගඬක් යම්පරිදි වේද, එයට නවවණ මුඛකෙනෙක් වෙත්. (කිසිවකු විසින් බිඳ නො කළ) කර්ම සමුත්ථිත වූම නව අභේදන මුඛ කෙනෙක් වෙත්. එයින් යම් කිසිවක් ම වෑහේ නම් අශුචි ම වෑහේ, දුගඳ ම වෑහේ, ජුගුප්සා කටයුතු ම වෑහෙයි. යම් කිසිවක් ම ගලා නම් අශුචි වූවක් ම ගලයි. දුර්ගන්ධ වූවක් ම ගලයි ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි.
මහණෙනි, ‘ගණ්ඩ’ යනු සතරමහාභූතයෙන් උපන්, මවුපියන්ගේ ශුක්රශෝණිතයෙන් හටගත්, බතින් හා කොමුයෙන් වැඩුණු, අනිත්යස්වභාව ඇති සුවඳ ඉලීම් හා පිරිමැදීම් සැහැවි කොට ඇති, භේදන හා විද්ධවංසනය ස්වභාව කොට ඇති මේ කයට ම නමෙකි. එයම ව්රණමුඛ නවයෙක, අභේදනමුඛ නවයෙකි. එයින් යම් කිසිත් ම වෑහේ නම් අශුචි වූවක් ම වෑහෙයි, දුර්ගන්ධ වූවක් ම වෑහෙයි, ජුගුප්සා කටයුත්තක්ම වෑහෙයි. යම් කිසිත් ගලා නම්, අශුචි වූවක් ම ගලයි, දුර්ගන්ධ වූවක් ම ගලයි, ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි. මහණෙනි, එහෙයින් ම මේ කායයෙහි උකටලී වවු.
9. 1. 2. 6.
සඤ්ඤා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත වූවාහු, බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්ය්යාවසාන ද වෙත්. කවර නවයෙක් යත්:
අසුභසඤ්ඤා ය, මරණ සඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූල සඤ්ඤා ය, සර්වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුඃඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්ය්යාවසාන ද වෙත්.
9. 1. 2. 7.
කුලෝපගමන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු නවයෙකින් සමන්වාගත කුල (පෙර) නො එළැඹ ම හෝ එළැඹෙනුවට නුසුදුසු ය, එළැඹ හෝ හිඳුමට නුසුදුසු ය, කවර නවයෙකින යත්:
මනා අයුරින් හුනස්නෙන් නැගිට පෙරගමන් නො කරත්. මනා අයුරින් නො වඳිත්. මැනැවින් අසුන් නො දෙත්. ඔහට සතු දෑ සඟවත්. බොහෝ ඇත ද මදක් දෙත්. පිණී දෑ ඇත ද රූක්ෂයක් ම දෙත්. සකසා නොව නො සකසා දෙත්. ධර්ම ශ්රවණයට ළඟ නො හිඳිත්. භාෂිතයාගේ අර්ත්ථරස විඳිමින් සතුටු නො වෙත්. මහණෙනි, මේ නව කරුණින් සමන්වාගත කුලය (පෙර) නො එළැඹ හෝ එළැඹීමට නුසුදුසුය. එළැඹ හෝ හිඳිනට නුසුදුසු ය.