9. 1. 2. 6.
සඤ්ඤා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත වූවාහු, බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්ය්යාවසාන ද වෙත්. කවර නවයෙක් යත්:
අසුභසඤ්ඤා ය, මරණ සඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූල සඤ්ඤා ය, සර්වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුඃඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්ය්යාවසාන ද වෙත්.
9. 1. 2. 7.
කුලෝපගමන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු නවයෙකින් සමන්වාගත කුල (පෙර) නො එළැඹ ම හෝ එළැඹෙනුවට නුසුදුසු ය, එළැඹ හෝ හිඳුමට නුසුදුසු ය, කවර නවයෙකින යත්:
මනා අයුරින් හුනස්නෙන් නැගිට පෙරගමන් නො කරත්. මනා අයුරින් නො වඳිත්. මැනැවින් අසුන් නො දෙත්. ඔහට සතු දෑ සඟවත්. බොහෝ ඇත ද මදක් දෙත්. පිණී දෑ ඇත ද රූක්ෂයක් ම දෙත්. සකසා නොව නො සකසා දෙත්. ධර්ම ශ්රවණයට ළඟ නො හිඳිත්. භාෂිතයාගේ අර්ත්ථරස විඳිමින් සතුටු නො වෙත්. මහණෙනි, මේ නව කරුණින් සමන්වාගත කුලය (පෙර) නො එළැඹ හෝ එළැඹීමට නුසුදුසුය. එළැඹ හෝ හිඳිනට නුසුදුසු ය.
මහණෙනි කරුණු නවයෙකින් සමන්වාගත කුලය (පෙර) එළැඹ හෝ එළැඹීමට සුදුසු ය. එළැඹ හෝ හිඳිනට සුදුසු ය. කවර නවයෙකින යත්:
මැනැවින් හුනස්නෙන් නැගී පෙරගමන් කරත්. මැනැවින් අභිවාදනා කෙරෙත්, මැනැවින් අසුන් දෙත්, ඔහුට ඇති දෑ නො සඟවත්, බොහෝ ඇතිවත් බොහෝ කොට දෙත්. පිණී දෑ ඇතිවත් පිණී දෑ ම දෙත්. සකස් කොට දෙත් නො සකසා නො දෙත්, දහම්ඇසීමට ළඟ හිඳිත්, භාෂිතයාගේ රසවිඳිමින් සතුටු වෙත්.
මහණෙනි, මේ නව කරුණින්, සමන්වාගත කුලය නො එළැඹ හෝ එළැඹුමට සුදුසු ය. එළැඹ හිඳිනට හෝ සුදුසු යි.
9. 1. 2. 8.
නවඞ්ගුපෝසථ සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නව අඟින් සමන්වාගත පෙහෙවස් වුසූයේ මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාද්යුතික වෙයි. මහාවිස්ඵාර වෙයි. මහණෙනි, කෙසේ වුසූ නවඟින් සමන්වාගත උපෝසථය මහත්ඵල, මහා නෘශංස, මහාද්යුතික, මහාවිස්ඵාර වේය යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සිතයි: “යවදිව් රහත්හු පණිවා හැර පණිවායෙන් වැළැකියාහු බහාතැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජාවත් වූවාහු දයාවට පැමිණියාහු සර්වප්රාණීන් කෙරේ හිතානුකම්පී ව විහරණ කරත්: අද මමත් මේ රෑත් මේ දාවලත් පණිවා හැර පියා පණිවායෙන් වැළැකියෙම් බැහූ දඬු ඇතියෙම් බැහූ අවි ඇතියෙම් ලදැතියෙම් දයාවට පැමිණියෙම් සර්වප්රාණීන් කෙරේ හිතානුකම්පී වූයෙම් විහරණ කරමි. මෙ කරුණෙනුදු රහතුනට අනුක්රියා කරමි. මා විසින් උපෝසථය ද වුසූයේ වෙයි. මේ පළමු අඟින් සමන්වාගත වෙයි.
2. “රහත්හු යව්දිව් අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියාහු දුන් දෑ ගන්නා සුල්ලහු දුන් දෑ කැමැතිවන්නාහු නොසොර පිවිතුරු සිතින් වෙසෙත්. අද මමත් මේ රෑත් මේ දාවලත් අයිනාදන් හැරපියා … මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. මේ දෙවන අඟින් සමන්වාගත වූයේ වෙයි.