9. 1. 2. 4.
සමිද්ධි සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුනට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
සමිද්ධිය, පුරුෂයාට සඞ්කල්පවූ විතර්කයෝ කුමක් අරමුණු කොට උපදනාහු දැයි? වහන්ස, නාමරූප ප්රත්යය කොට ය.
සමිද්ධිය, ඔහු කොතැන්හි නානාස්වභාවයට යෙත් දැයි.? වහන්ස, ධාතූන් කෙරෙහි ය.
සමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහු දැයි.? වහන්ස, ස්පර්ශ සමුදය කොට ඇතිය හ.
සමිද්ධිය, ඔහු කුමක් සමවසරණ (එක් රැස්වීම ස්වභාව) කොට ඇත්තාහු දැයි. වහන්ස, වේදනාව සමවසරණකොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කුමක් ප්රමුඛ කොට ඇත්තාහු දැයි? වහන්ස, සමාධිය ප්රමුඛ කොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහු දැයි? වහන්ස, ස්මෘතිය අධිපති කොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහු දැයි? වහන්ස, ප්රඥාව උතුරු කොට ඇතියහයි.
සමිද්ධිය, ඔහු කුමක් සාරය කොට ඇත්තාහු දැයි? වහන්ස, විමුක්තිය සාර කොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කිමෙක බැසගත්තාහු දැයි? වහන්ස, අමෘතයෙහි බැසගත්තාහයි.
සමිද්ධිය, පුරුෂයාගේ සඞ්කල්ප විතර්කයෝ කුමක් ප්රත්යය කොට උපදනාහුදැයි මෙසේත් පුළුවුස්නා ලදුයේ වහන්ස, නාමරූප ප්රත්යය කොට ය’යි කියහි.
සමිද්ධිය, ඔහු කො තන්හි නානාස්වභාවයට යෙත් දැයි පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ධාතූන් කෙරෙහි’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ස්පර්ශය සමුදය කොට ඇතියහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් සමවසරණ කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, වේදනා සමෝසරණ කොට ඇතියහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් ප්රමුඛ කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සමාධිප්රමුඛයහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සතාධිපතෙය්යහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, පඤ්ඤුත්තරයහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් සාර කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, විමුත්තිසාරයහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් ප්රතිෂ්ඨා කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, අමෘතය ප්රතිෂ්ඨා කොට ඇතියහ’යි කියහි.
සමිද්ධිය, මැනැව, මැනැව, තෝ පැණ පුළුවුස්නා ලදුයේ මොනොවට විසඳුයෙහි, ඉනුදු (අගසව්වකු ඇසූ පැණ විසැඳියෙමියි) මානය නො කෙළෙහි යි.
9. 1. 2. 5.
ගණ්ඩොපම සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නොයෙක් වස් ගණන් ඇති ගඬක් යම්පරිදි වේද, එයට නවවණ මුඛකෙනෙක් වෙත්. (කිසිවකු විසින් බිඳ නො කළ) කර්ම සමුත්ථිත වූම නව අභේදන මුඛ කෙනෙක් වෙත්. එයින් යම් කිසිවක් ම වෑහේ නම් අශුචි ම වෑහේ, දුගඳ ම වෑහේ, ජුගුප්සා කටයුතු ම වෑහෙයි. යම් කිසිවක් ම ගලා නම් අශුචි වූවක් ම ගලයි. දුර්ගන්ධ වූවක් ම ගලයි ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි.