9. 1. 2. 2.
සෝපාදිසේස සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතා කල් ඇත්තේ ය. මම් අන්තොටු පිරිවැජි අරම යම්තන්හි ද, එහි එළඹෙම් නම් ඉතා මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අන්තොටු පිරිවැජි අරමට එළඹිය හ. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ.
එසමයෙහි රැස්ව හුන් ඒ පිරිවැජියන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්හි, යම් කිසිවෙක් උපාදාන ශේෂ ඇතියේ කලුරිය කෙරේ නම් ඒ හැම දෙන නිරයෙන් නො මිදුණේ වෙයි. තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි. ප්‍රේතවිෂයෙන් නො මිදුණේ වෙයි. අපායදුගතියෙන් නො මිදුණේ වෙ”යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නො ම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී නික්ම ගියහ, “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැන ගනිමැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත්හි පිඬුවායෙන් වැළකුණාහු භගවතුන් වෙත එළඹිය හ. එළැඹ භගවතුන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවත්නට තෙල සැලකළහ.
“වහන්ස, මෙහි මම් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, ඒ මට තෙල සිත විය. “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතාකල් ඇත්තේ ය. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹෙන්නෙම් නම්, ඉතා යෙහෙකැ”යි. වහන්ස, ඉක්බිති මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූයෙමි. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්මි.
වහන්ස, එසමයෙහි, රැස්ව හුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් කිසිවෙක් උපාදානශේෂ ඇතියේ කලුරිය කළේ නම් එ හැමදෙන නිරයෙන් නො මිදුණේ වෙයි, තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි, ප්‍රේතවිසයෙන් නො මිදුණේ වෙයි, අවාදුගතින් නොමිදුණේ වෙ”යි. වහන්ස, එකල්හි මම ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගතිමි, නො ම පිළිකෙව් කෙළෙමි. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගන්මි”යි නික්ම ගියෙමි යි.
ශාරිපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂ ඇතියකු හෝ සෝපාදිසේසයෙකැයි දනිත්ද, අනුපාදිශේෂයකු හෝ අනුපාදිශේෂයෙකැයි දනිත්ද:
ශාරිපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණාහු වෙති. කවර නවදෙනෙක යත්:
1. ශාරිපුත්‍රය, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මුත් ප්‍රථමපුද්ගල යි.
2.-5 ශාරිපුත්‍රයෙනි, තවද, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි … අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … සසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … උද්ධං සෝත අකනිට්ඨගාමී වෙයි … ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන්යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපායදුර්‍ගතිවිනිපාතයෙන් මුත් පස්වැනි පුද්ගල යි.