8. 2. 9. 9.
පටිසාරණීයකම්ම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය. කවර අට දහමින යත්:
ගිහීනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව බෙණෙයි ගිහියන් ගිහියන් හා බිඳුවයි, බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, දැහැමි වූ ද ගිහි පිළිණ සත්‍ය නො කෙරෙයි. (වරදවයි) මහණෙනි, මේ දහම් අටින් සමන්‍වාගත වූ මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය සන්හිඳුවන්නේ ය. කවර අටකරුණෙකිනයත්:
ගිහීනට අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො බෙණෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි. දහම්හි ගුණ කියයි. සඟුන්ගේ ගුණ කියයි, දැහැමි ගිහි පිළිණ ද සත්‍ය කෙරෙයි. මහණෙනි, මේ කරුණු අටින් සමන්‍වාගත මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය සංහිඳුවන්නේ යි.
8. 2. 9. 10.
තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, තස්සපාපිය්‍යසිකා කර්‍මය කරනලද මහණහු විසින් දහම් අටෙක මොනොවට පැවැත්තයුතු: උපසපන් නො කට යුතු. නිස නො දිය යුතු. හෙරණක් නො එළවිය යුතු. භික්ඛුනෝවාදක සම්මුතිය නො ඉවසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණන් ඔවා නො දිය යුතු කිසි සඞ්ඝසම්මුතියක් නො ඉවසිය යුතු. කිසි දෙටු තැනෙක නො තැබිය යුතු. ඔහු පාමොක් කොට ඇති සඟහු විසින් අබ්භාන කම් නො කට යුතු.
මහණෙනි, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරනලද මහණහු විසින් මේ අටදම්හි මොනොවට පැවැත්ත යුතු.
නවවැනි සතිවර්‍ග යි.
එහි උද්දානය:
සතිසූත්‍රය, පුණ්ණියසූත්‍රය, මූලසූත්‍රය, චෝරසූත්‍රය, පස්වැනි තථාගතාධිවනසූත්‍රය, නාගිතසූත්‍රය, පත්තසූත්‍රය, පසාදසූත්‍රය, පටිසාරණී සූත්‍රය, වත්තනසූත්‍රයදැයි දසය යි.
10. සාමඤ්ඤ වර්‍ගය
8. 2. 10. 1-27.
[සැවැත්නිදාන යි]
එකල්හි බොජ්ඣා උවැසි ... සිරිමා උවැසි .... පදුමා ... සුතණා ... මනුජා ... උත්තරා .... මුත්තා ... සෝමා ... රුචි උවැසි ... චුන්‍දි රාජකුමාරි ... බිමිබි උවැසි ... සුමනා රාජකුමාරි ... මල්ලිකා දේවි ... තිස්සා උවැසි ... තිස්සාවගේ මාතා ... සෝණා .... සෝණාවගේ මාතා ... කාණා ... කාණාවගේ මාතා .... උත්තරා නම් නන්‍ද මාතා ... විශාඛා මිගාර මාතා … බුජ්ජුත්තරා උපාසිකා ... සාමාවතී උපාසිකා ... කෝලිය දූහිතෘ සුප්පාවාසා ... සුප්පියා උපාසිකා ... නකුලමාතා ගෘහපතානී ... යි.
දසවැනි සාමඤ්ඤවර්‍ග යි
දුතිය පණ්ණාසකය සමාප්ත යි.