8. 2. 6. 5.
උජ්ජය සූත්රය
[සැවැත්නිදාන යි]
එකල්හි උජ්ජය බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව නිමවා එකත්පසෙක හින, එකත්පසෙක හුන් උජ්ජය බමුණු භාග්යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, අපි ප්රවාසයට (පිටත වාසයට) යනු කැමැත්තම්හ. යම් හෙයෙකින් අපට දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස සම්පරායෙහි හිත පිණිස සම්පරායෙහි සුව පිණිස ධර්ම කෙනෙක් වෙත් නම් භාග්යවතුන් වහන්සේ එසේ අපට දහම් දෙසන සේක් ව යි.
බමුණ, මේ සතර දහම්හු කුලපුත්හු ගේ දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්:
උට්ඨානසම්පදා ය, ආරක්ඛසම්පදා ය, කල්යාණමිත්තතා ය, සමජීවිකතා යි.
1. බමුණ, උට්ඨානසම්පදා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදහමින් වේවයි, ගෙරිරැක්මෙන් වේවයි, දුනුවාකැමින් වේවයි රාජසෙවායෙන් වේවයි අන්යතර ශිල්පයෙකින් වේවයි යම්බඳු වූ කර්මාන්තයෙකින් ජීවිකා කෙරේ නම් එහි අනලස් වූයේ තත්රෝපායවිමංසායෙන් සමන්වාගත වූයේ දක්ෂ වෙයි. කිරීමට සමත් වෙයි. සංවිධානයට සමත් වෙයි. බමුණ, මේ උට්ඨානසම්පදා යි කියනු ලැබේ.
2. බමුණ, ආරක්ඛසම්පදා කවර: බමුණ, මෙලොව්හි කුලපුත්හට උත්ථානවීර්ය්යයෙන් ලබනලද බාහුබලයෙන් රැස්කරන ලද ඩහදිය වැගිරවීමෙන් උපයන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඒ භොග ආරක්ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කොට තබයි. කිමෙක, මාගේ භොග රජහු හැර නො ගනිත් නම්, සොරු පැහැර නො ගනිත් නම් ගිනි නො දවා නම්, වතුරු ගසාගෙන නො යේ නම්, අප්රිය බන්ධුහු පැහැර නොගනිත් නම් යෙහෙක කියායි. බමුණ, මේ ආරක්ඛසම්පදා යි කියනු ලැබේ.
3. බමුණ කල්යාණමිත්තතා නම් කවර: බමුණ මෙ ලොව්හි කුලපුත් යම් ගමෙක වේවයි නියම්ගමෙක වේවයි වෙසේ නම් එහි ගැහැවි හෝ ගැහැවිපුත්හු හෝ වෘද්ධශීලී දහරයෝ හෝ වෘද්ධශීලී වෘද්ධයෝ හෝ ශ්රද්ධා සම්පන්න වූවාහු සීලසම්පන්න වූවාහු ත්යාගසම්පන්න වූවාහු ප්රඥාසම්පන්න වූවාහු යම් ඒ කෙනෙක් වෙත් නම් ඔවුන් හා සමග සිටුනේ ය. සල්ලාප කරන්නේ ය. සාකච්ඡාවට එළඹෙන්නේ ය. යම් බඳු සැදැහැතියන්ගේ ශ්රද්ධාසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ශීලසම්පන්නයන්ගේ ශීලසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ත්යාගසම්පන්නයන්ගේ ත්යාගසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ප්රඥාසම්පන්නයන්ගේ ප්රඥාසම්පත් අනුව හික්මේ නම් බමුණ මේ කල්යාණ මිත්තතා යි කියනු ලැබෙයි.
4. බමුණ, සමජීවිකතා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි, මෙසේ මාගේ අය තෙමේ වැය මැඩගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩගෙන නො සිටුනේ ය කියා යි.