8. 2. 6. 6.
කාමාධිවචන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, භය යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, දුක්ඛ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, රෝග මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගණ්ඩ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, සල්ල මෙය කාමයනට නමෙකි. මහණෙනි, සඞ්ග මෙය කාමයනට නමෙකි. මහණෙනි, පඞ්ක මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගබ්භ මෙය කාමයනට නමෙකි.
මහණෙනි, කවර හෙයින් භය යන මෙය කාමයනට නම් වේ ද යත්: මහණෙනි, යම් කරුණෙකින් කාමරාගයෙන් රත්වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමියෙහි බියෙනුදු නො මිදෙයි. පරලොව්හි බියෙනුදු නොමිදේ. එහෙයින් භය යන මෙය කාමයනට නමෙකි.
මහණෙනි, කවර හෙයින් දුක්ඛ යන ... රෝග යන ... ගණ්ඩ යන ... සල්ල යන ... සඞ්ග යන ... ගබ්භ යන මෙය කාමයනට නම් වේ ද, යත්:
මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් රත් වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමි ගැබිනුදු නො මිදේ, පරලෝ ගැබිනුදු නො මිදේ. එහෙයින් ගබ්භ යන මෙය කාමයනට නමෙකි.
1. භය ද දුක්ඛ ද රෝග ද ගණ්ඩ ද සල්ල ද සඞ්ග ද පඞ්ක හා ගබ්භ යන මේ දෙදෙන දැයි යන මොහු කාමය යයි කියනු ලැබෙත්. යම් තැනෙක පුහුදුන් සත්ත්‍ව තෙමේ ඇලුනේ ද එහෙයිනි.
2. සුඛස්වරූපයෙන් (කාම සුඛයෙන්) අවතීර්‍ණ වූයේ යළි (පුනර්‍භව සඞ්ඛ්‍යාත) ගර්‍භයට යෙයි. යම් කලෙක පටන් කෙලෙස් තවන වැර ඇති මහණ සම්‍යක්ප්‍රඥානය නො හරී ද-
3. එබඳු හේ මේ දුර්‍ග වූ පලිපය (සංසාර නැමැති මහමඩවළ) ඉක්මවා ජාති ජරායෙන් යුත් (තුන් භවයෙහි) සැලෙන ප්‍රජාව (විදසුන් නැණින්) දක්නේ යයි.
8. 2. 6. 7.
පඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, දහම් අටෙකින් යුතු මහණ සිවුපසය පිළිගැනීමට සුදුසු වෙයි, ආගන්තුක දානාදියට සුදුසු වෙයි. පරලොව අදහා දෙන දානයට සුදුසු වෙයි, ඇඳිලිබැඳීමට සුදුසු වෙයි, ලොවට අසදෘස පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
කවර අටෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පදයන් හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටි (ප්‍රඥා) යෙන් මොනොවට පිළිවිදියේ වෙයි, කල්‍යාණ සහායයන් ඇත්තේ කල්‍යාණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි, සම්‍යක් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්දෘෂ්ටික වෙයි, ඉහාත්මයෙහි සුඛ විහරණ ඇති අධිචිත්තයෙහි උපන් සිවුදැහැන් කැමැති සේ ලබන සුලු වූයේ සුවසේ ලබන සුලු වූයේ විපුලසේ ලබන සුලු වූයේ වෙයි, අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහි කරන්නේ ය. කෙසේ ය යත්: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයයෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ. මහණෙනි, මේ අට දහමින් සමන්‍වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.