8. 2. 6. 4.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කෝලියපුත්‍ර තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.
වහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍රදාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.
ව්‍යාඝ්‍රපද්‍යය, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හුගේ ඉහාත්ම භාවයෙහි හිත පිණිස, ඉහාත්මභාවයෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උත්‍ථාන සම්පත් ය, ආරක්‍ෂා සම්පත් ය, කල්‍යාණමිත්‍රතාව ය, සමජීවිකතා ය යනුයි.
1. ව්‍යාඝ්‍රපද්‍යය, උත්‍ථානසම්පත් කවර යත්; ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ කෘෂිකර්‍මයෙන් වේවායි වණික්කර්‍මයෙන් වේවයි, ගෝරක්‍ෂායෙන් වේවයි, දුනුවාකමින් වේවයි, රාජපුරුෂ භාවයෙන් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම්බඳු වූ ම කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරෙයි නම්, එහි අනලස් වූයේ තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ දක්‍ෂ වෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ උත්‍ථානසම්පත් යයි කියනු ලැබේ.
2. ව්‍යාඝ්‍රපද්‍යය, ආරක්‍ෂාසම්පත් කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් හට උත්‍ථානවීර්‍ය්‍යයයෙන් ලබන ලද බාහුබලයෙන් රැස් කරන ලද ඩහදිය හෙළා උපදවන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඔහු ආරක්‍ෂායෙන් ගෝපනයෙන් ‘මාගේ භෝගයන් රජවරු කිමැ හැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගින්න නො දවා ද, දිය හෝ ගසාගෙන නො යේ ද, අප්‍රිය බන්‍ධූහු නො ගනිත් දැයි ආරක්‍ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කර තබයි. ‘ව්‍යාඝ්‍රපද්‍යය, මේ ආරක්‍ෂාසම්පත් යයි කියනු ලැබේ.
3. ව්‍යාඝ්‍රපද්‍යය, කල්‍යාණමිත්‍රතාව කවරයත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ යම් ගමෙක වේවයි නියම් ගමෙක වේවයි වෙසේ නම් එහි ගෘහපති වේවයි ගෘහපති පුත්‍ර වේවයි ළදරු වූ වෘද්ධ ස්වාභාව ඇත්තාහු වෙත්වයි, වෘද්ධ ස්වභාව ඇති වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ශ්‍රද්ධාසම්පන්න වූවාහු ශීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු වෙත් නම් ඔවුන් හා සමඟ සිටුනේ ය, සල්ලාප කරන්නේ ය, සාකච්ඡාවට පැමිණෙන්නේ ය, යම් බඳු වූ ශ්‍රද්ධාසම්පන්නයන් ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මෙයි. යම්බඳු ශීලසම්පන්නයන් ගේ ශීලසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. යම්බඳු ත්‍යාගසම්පන්නයන් ගේ ත්‍යාගසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි: යම්බඳු ප්‍රඥාසම්පන්නයන් ගේ ප්‍රඥාසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ කල්‍යාණමිත්‍රතා යි කියනු ලැබේ.
4. ව්‍යාඝ්‍රපද්‍යය, සමජීවිකතා කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත්‍ර තෙමේ භෝගයන් ගේ අයදු දැන, භෝගයන් ගේ වැයදු දැන ඉමහත් ද නො වූ ඉතා පහත් ද නො වූ සම දිවිපැවැත්ම කෙරෙයි. මෙ ලෙසින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යය අය ගෙවා නො සිටුනේ යයි කියා යි.