8. 2. 6. 3.
සංක්‍ෂිප්ත ගෝතමියොවාද සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි මහා පජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නා ය. එකත් පසෙක හුන් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා (කාය ගණ ආදියෙන්) වෙන් වූයෙම් නො පමා වූයෙම් වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිතැතියෙම් වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ඒ දහම් දෙසන සේක් නම් මැනැව.
ගෞතමිය, තෙපි ‘මේ දහම්හු සරාගය පිණිස වැටෙති, විරාගයට නො වැටෙත්; සංසාර සංයෝගයට වැටෙති, විසංයෝගයට නො වැටෙත්, සසර වඩනට පවතිති, නො වඩනට නො පවතිත්, මහිච්ඡතා පිණිස පවතිති, අප්පිච්ඡතා පිණිස නො පවතිත්, අසන්තුට්ඨිය පිණිස පවතිති, සන්තුට්ඨිය පිණිස නො පවතිත්, සඞ්ගණිකාව පිණිස පවතිති, ප්‍රවිවේකය පිණිස නො පවතිත්, කුසීත භාවය පිණිස පවතිති, වීර්‍ය්‍යාරම්භය පිණිස නො පවතිත්, දුෂ්පෝෂණය පිණිස පවතිති, සුපෝෂණය පිණිස නො පවතිත් යයි යම් දහමුන් දන්නෙහි ද, ගෝතමිය, ඒකාන්තයෙන් ‘මේ දහම නො වෙයි, මේ විනය නො වෙයි, මේ ශාස්තෘ ශාසනය නො වේ’ යයි දරව.
ගෝතමිය, තෙපි “මේ ධර්‍මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයෝගයට වැටෙති, සංයෝගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍රවිවේකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගෝතමිය, ඒකාන්තයෙන් තෙල ධර්‍මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
8. 2. 6. 4.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කෝලියපුත්‍ර තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.
වහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍රදාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.