8. 2. 6. 10.
ද්විතීය අට්ඨපුග්ගල සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ පුද්ගලයෝ අටදෙනෙක් ආහුනෙය්ය වෙත් ... ලෝකයට අනුත්තරපුණ්යක්ෂේත්ර වෙත්. කවර අට දෙනෙක යත්: සෝතාපන්න ය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය. සකදාගාමීඵල පසක් කිරීමට පිළිපන්නේ ය; අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ආහුනෙය්ය වෙත් ... ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්ර වෙත්.
1. මාර්ගයට පිළිපන් සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි සතර දෙනෙක් ද යන පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සත්ත්වයනට මෙය උත්කෘෂ්ට සඞ්ඝ වෙයි.
2. දන් දෙන මිනිස්නට පින් කැමති සත්නට උපධිවිපාක ඇති පින් කරනුවට මේ සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේයයි.
සවැනි ගෝතමී වර්ගය යි.
එහි උද්දානය:
ගෝතමී සූත්රය, ඕවාද සූත්රය, සඞ්ඛිත්ත (ගෝතමීයො වාද) සූත්රය, දීඝජාණු (ව්යග්ඝපජ්ජ) සූත්රය, උජ්ජය සූත්ර ය, භය (කාමාධි වචන) සූත්ර ය, ආහුනෙය්ය සූත්ර දෙකය අට්ඨපුග්ගල සූත්ර දෙක දැයි සූත්ර දශයෙකි.
7. චාපාල වර්ගය
8. 2. 7. 1.
ලාහිච්ඡා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ලොව්හි විද්යමාන මේ පුද්ගලයෝ අටදෙනෙක් ඇත. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි ප්රකර්ෂ විවේකයට ගිය (කිසිවක්හි) අයත් පැවැතුම් නැතිව වෙසෙන (විදර්ශනා කම්මික) මහණහට ප්රත්යය ලාභය පිණිස ඉච්ඡායෙක් උපදී. හේ ලාභය පිණිස උත්ථාන වීර්ය්යය කරයි, ඝටයි, වැර කරයි. ලාභය සඳහා උත්ථාන වීර්ය්යය කරන, ඝටනා කරන, ව්යායාම කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරන්නේ ය, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරන්නේ ය, ළෙහි අත් පැහැර හඬනේ ය, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මෙ මහණ ලාභයට ඉච්ඡා ඇති ව වසයි, ලාභය පිණිස උත්ථානවීර්ය්ය කරයි, ඝටයි, වෑයම් කරයි, (ඉච්ඡිතය) නො ලබන සුලු වූයේ ශෝක කරනුයේ පරිදේවනා කරනුයේ සද්ධර්මයෙන් (විදර්ශනායෙන්) ච්යුත වූයේ යි කියනු ලැබේ.
2. මහණෙනි, මෙ සස්නෙහි ප්රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්ථාන වීර්ය්ය කරයි, ඝටයි, ව්යායාම කරයි. උත්ථාන වීර්ය්ය කරන, ඝටන, ව්යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත්වෙයි, ප්රමත්ත වෙයි, ප්රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. ලාභයට උත්ථාන වීර්ය්ය කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභී වූයේත් මදැතියේත් ප්රමාදී වූයේත් සද්ධර්මයෙන් ච්යුත වූයේත් වී යයි කියනු ලැබේ.
3. මහණෙනි, මෙ සස්නෙහි ප්රවිවික්ත ව වසන අයත් නැති පැවතුම් ඇති මහණහට ලාභය පිණිස ඉච්ඡායෙක් උපදනේය. හේ ලාභය පිණිස උත්ථාන වීර්ය්යය නොකරයි, නො ඝටයි, ව්යායාම නො කරයි. ලාභය පිණිස වැර නො කරන, ඝටනා නො කරන, ව්යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත්පැහැරැ හඬයි, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. උත්ථාන වීර්ය්ය නො කරයි, නො ඝටයි, ව්යායාම නො කරයි. නො ද (ඉච්ඡිතය) ලබන සුලුයේ ශෝක කරනුයේ ද පරිදේවනා කරනුයේ ද සද්ධර්මයෙන් ච්යුත වූයේ ද වේ යයි කියනු ලැබේ.