8. 1. 5. 9.
ප්‍රථමලෝකවිජය සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසනසේක: එකල්හි විශාඛා මිගාරමාතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ ... එකත් පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි, අය විසින් මෙලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකින් යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සගත් පිරිවර දනා ඇත්තී වෙයි භර්‍තෘහට මනාව හැසිරෙයි. ඉපැයූ දෑ රකී.
1. විසාඛාවෙනි, කෙසේ නම් මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් මේ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට සමත් වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වෙයි.
2. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සඟත් පිරිවරදනා ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘහුගේ අභ්‍යන්තර වූ දස්හු වෙත්වයි ප්‍රෙෂ්‍ය වෙත්වයි කම්කරු වෙත්වයි යම් අන්තර්‍ජන කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ කළ දෑත් කළ විසින් දනියි, නො කළ දෑත් නො කළ විසින් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි,. ඔවුනට කෑයුතු බුදිය යුතු දෑ ද කොටස් විසින් සංවිභාග කෙරෙයි. විශාඛාවෙනි, මෙසේ මාගම සඟත් පිරිවර දනා ඇත්තී වෙයි.
3. විශාඛාවෙනි, කෙසේ නම් මාගම භර්‍තෘහට මනාපව හැසිරේ ය යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම යමක් භර්‍තෘහට අමනාප යයි කියනලද නම් එය දිවි හෙයිනුදු නො කෙරෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහට මනාප ව හැසිරේ.
4. විසාඛාවෙනි, කෙසේ නම් මාගම ඉපයූ දෑ රකී ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘතෙම ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජතයෙක් වේවයි ජාතරූපයෙක් වේවයි යම් ම දැයක් උපයා ගෙන ඒ නම් එය ආරක්‍ෂාවෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු අධුර්‍ත වූවා අචෞර වූවා අශෞණ්ඩ වූවා අවිනාගික වූවා වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම ඉපයූ දෑ රකියි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම මෙලොව දිනුමට පිළිපන්නී වෙයි, ඇය විසින් මොලොව ඇරයූයේ වේ.
විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම පරලොව විජය පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකිනයත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වේ.
5. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සද්ධාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ශ්‍රද්ධා ඇත්තී වේ ද, එ භගවත් තෙමේ මෙසේ ද මෙසේ ද අර්‍හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තර පුරිසධම්මසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි, තථාගතයන් වහන්සේගේ සර්‍වඥබෝධිය හදහා ද, විසාඛාවෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.