8. 1. 5. 6.
අනුරුද්ධමනාපකායික සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිවාවිහාරයට ගියාහු විවේකී ව වෙසෙති. එකල්හි බොහෝ මනාපකායික දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් අපි තුන් තැනෙක ඉසුරු කරමු, වශය පවත්වමු. වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු වර්ණයක් කැමැත්තමෝ නම් එබඳු වර්ණය සැණෙකින් ලබන්නෙමු. යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වරය සැණෙකින් ම ලබන්නෙමු. යම්බඳු සුඛයක් කැමැත්තමෝ නම් එබඳු සුඛය සැණෙකින් ම ලබන්නෙමු. වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් වූ අපි මේ තුන් කරුණෙහි ඉසුරු කරන්නෙමු, වශය පවත්වන්නෙමු.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මේ සිත වී ය: “ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම නිල් වූවාහු නිල් පැහැ ඇතියාහු නීලවස්ත්ර ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් ඉතා යෙහෙක කියායි. එකල්හි ඒ දේවතාවෝ අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම නිල් වූවාහු නිල්වන් වූවාහු නිල්වත් ඇත්තාහු නීලාලඞ්කාර ඇත්තාහු වුහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට තෙල සිත විය: ‘ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම රන් පැහැ වූවාහු වෙත් නම් ... හැම රතු පැහැ වූවාහු වෙත් නම් ... සුදු වූවාහු සුදුවන් වූවාහු සුදු වස්ත්ර ඇතියාහු සුදු අලඞ්කාර ඇතියාහු වෙත් නම් යෙහෙක’ කියායි. එකල්හි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම අවදාත වූවාහු අවදාතවර්ණ වූවාහු අවදාත වස්ත්ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වූහ.
ඉක්බිති ඒ දේවතාවන් අතුරෙහි එක් දේවතාවක් ගැයූ ය, එක්දේවතාවක් නැටූ ය, එක් දේවතාවක් හස්තතාලයට වන යම්සේ මැනැවින් සකසන ලද, ස්වරසාම්ය සඳහා පූර්වවාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ සොඳුරුත් වේ ද, සිත් රඳවන්නකුත් වේ ද, කමනීයත් වේ ද, ප්රේමණීයත් වේ ද, මදනීයත් වේ ද, එසෙයින් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ ශබ්දය වල්ගු ද වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්රේමණීය ද වෙයි, මදනීයද වේ, එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් (ඇස්) යටිහුරු කළහ.
ඉක්බිති ඒ දේවතාවෝ ආර්ය්ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහ යි එහි ම අතුරුදහන් වූහ.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිට භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළාහ.
වහන්ස, මම දිවා විහරණයට ගියෙම් පිළිසලනෙහි යෙදුනෙම් වෙමි, වහන්ස, එකල්හි බොහෝ මනාපකායිකදේවතාවෝ මා වෙත එළැඹියාහ. එළැඹ මා වැඳ එකත් පසෙක සිටියහ. වහන්ස, එකත්පසෙක සිටි ඒ දේවතාවෝ මට තෙල කීහ:
වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකදේවතා වන අපි තුන් තැනෙක ඉසුරු කරමු, වසය පවත්වමු, වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු පැහැයක් කැමැත්තමෝ නම් එබඳු පැහැ සැණෙකින් ම ලබමු, යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වර සැණෙකින් ලබමු, යම් බඳු සුවයක් කැමැත්තමෝ නම් එබඳු සුව සැණෙකින් ම ලබමු, වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකාදේවතා වන අපි මේ තුන්තන්හි ඉසුරු කරමු. වසය පවත්වමු යි.