8. 1. 5. 7.
විසාඛාමනාපකායික සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක: එකල්හි විසාඛා මිගාරමාතු ... එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
විශාඛාවෙනි, දහම් අටෙකින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි, කවර අටෙකින යත්:
විශාඛාවෙනි, මෙ ලොව්හි මාගම, අර්ත්ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මා පියෝ යම් හිමියකුට අනුකම්පා නිසා දක්වා දෙත් නම් ඔහට පළමු නැඟී සිටිනී පැසුළු වැදහෙන්නී කුම් කරම් දැයි පිළිවිස කරන්නී මනා පැවතුම් ඇත්තී ප්රිය වචන ඇත්තී වෙයි ... ත්යාග ඇත්තී ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්යාග ඇත්තී දෙනුවට දෙවූ අත් ඇත්තී දන් දීමෙහි ඇලුනී යදනට යෝග්ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. විසාඛාවෙනි, මේ දහම් අටින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹේ.
1. යම් පුරුෂයෙක් හැම කල්හි සාතත්යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැමදෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.
2. පණ්ඩිත වූ සුන්දරස්ත්රී තොමෝ හිමියා ඊර්ෂ්යා වාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.
3. උත්ථානවීර්ය්ය ඇත්තී අලස නො වූවා සඟහනලද පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපැයූ ධනය රකියි.
4. යම් ස්ත්රියක් මෙසේ හිමියාට වත් පුරා ඡන්දානුවර්තී ව පවත්නී ද, මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී ය.
8. 1. 5. 8.
නකුලමාතුමනාපකායික සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරියෙහි මෘගදාය නම් වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක. එකල්හි නකුලමාතා නම් ගෘහපත්නී භාග්යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ ... එකත්පස්ව හුන් නකුලමාතා ගෘහපත්නියට භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
නකුලමාතාවෙනි, දහම් අටෙකින් සමන්වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. කවර අටෙකින යත්:
1. නකුලමාතාවෙනි, මෙලොව්හි ස්ත්රීතොමෝ අර්ත්ථකැමති වූ හිත කැමැති වූ අනුකම්පා ඇති මාපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දක්වා දෙත් නම් ඔහට පළමු නැගී සිටිනී පැසුළු වැදහෝනී කුම් කෙරෙම්දැයි පුළුවුස්නී මනාප හැසිරුම් ඇත්තී ප්රියවචන ඇත්තී වෙයි.
2. මව ය කියා හෝ පියා ය කියා හෝ මහණ බමුණු ය කියා හෝ භර්තෘ හුගේ ගරුකටයුත්තාහු වෙත් නම් ඔවුන් සගන්නී ය, ගරු කරන්නී ය, බුහුමන් කරන්නී ය, පුදන්නී ය, වෙත පැමිණියවුන් අස්නෙන් හා පැනින් පුදන්නී ය.
3. භර්තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් ඒ අභ්යන්තර කර්මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්ෂ වූවා අනලස් වූවා වෙයි, තත්රෝපායවීමංසායෙන් සමන්වාගත වූවා කිරීමට හා සංවිධානයට පොහොසත් වෙයි.
4. භර්තෘහුගේ දස්හු වෙත් වයි ප්රෙෂ්ය වෙත් වයි කම්කරු වෙත් වයි අභ්යන්තර වූ යම් ඒ ඇතුළත් ජන කෙනෙක් වෙත් නම් ඔවුන් කළදෑ කළ සේ දනියි. නො කළ දෑත් නො කළ සේ දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, කෑයුතු දෑත් බුදියයුතු දෑත් කොටස් විසින් ඔවුනට බෙදයි.
5. භර්තෘ තෙමේ ධනයක් වේවයි ධාන්යයක් වේවයි රජත වේවයි ජාතරූප වේවයි යමක් ගෙන ඒ නම් එය ආරක්ෂායෙන් ගෝපනයක් සපයයි. එහිදු අධූර්ත වූවා නො සොර වූවා නො සොඬ වූවා අවිනාශික වූවා වෙයි.
6. බුදුන් සරණගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.
7. පණිවායෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා සිල්වත් වෙයි.