8. 1. 5. 5.
බොජ්ඣූපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ, අනාථපිණ්ඩිකයන්ගේ ආරාමයෙහි වෙසෙන සේක. එකල්හි බොජ්ඣා උවැසි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් බොජ්ඣා උවැසියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
බොජ්ඣාවෙනි, වුසූ අටඟින් යුත් පෙහෙවස් මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වෙයි.
බොජ්ඣාවෙනි, කෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
බොජ්ඣාවෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: ‘රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්‍රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්‍රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද වන්නේ ය යි මේ පළමුවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි ... රහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරන්නාහ. අද මම ද මෙ රෑත් දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහසුනෙන් වැළැකියෙම් හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කෙරෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙම්. මා විසින් පෙහෙවස් වසනලද වන්නේ යි මේ අටවැනි අඟින් සමන්‍වාගත වෙයි.
බොජ්ඣාවෙනි, මෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි. මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වේ.
කෙතෙක් මහත් ඵල වේ ය, කෙතෙක් මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
බොජ්ඣාවෙනි, යම්සේ යමෙක් අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ග ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රජය කරන්නේ නම් තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්: බොජ්ඣාවෙනි, මානුෂක රාජ්‍යය දිව්‍යසුඛය සඳහා කෘපණ වෙයි.
බොජ්ඣාවෙනි, මානුෂක වූ යම් පනස්හවුරුදුයෙක් වේ නම් චාතුම්මහාරාජික දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස්රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි.