8. 1. 5. 4.
වාසෙට්ඨූපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි මහාවන නම් වූ කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල්හි වාසෙට්ඨ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වාසෙට්ඨ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ.
වාසෙට්ඨය, වුසූ අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස මහත්ඵල වෙයි ... අනින්‍දිත වූවා හු ස්වර්‍ගස්ථානයට ද එළඹෙතියි.
මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ උවසු තෙමේ භාග්‍යවත් හට තෙල කරුණ සැල කෙළේ ය:
වහන්ස, මාගේ ප්‍රිය නෑ සහලේනෑයෝ අටඟින් යුත් පෙහෙවස් වසත් නම් මාගේ ප්‍රිය නෑ සහලේනෑයනට එය දිගුකලක් හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. වහන්ස, හැම ක්‍ෂත්‍රියයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් එය හැම ක්‍ෂත්‍රියනට දිගුකලක් හිතයට සුඛයට වන්නේ ය. වහන්ස, හැම බ්‍රාහ්මණයෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් හැම ශුද්‍රයනට එය දිගු කලක් හිතයට සුඛයට වන්නේ යයි.
වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය; වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය, වාසෙට්ඨය, හැම ක්‍ෂත්‍රියෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම්, හැම ක්‍ෂත්‍රියනට හිතයට සුවයට පවත්නේ ය. වාසෙට්ඨය, හැම බමුණෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වසන්නාහු නම් හැම ශුද්‍රයනට හිත පිණිස සුව පිණිස දිගුකලක් පවත්නේ ය, වාසෙට්ඨය, දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අටඟින් යුත් පෙහෙවස් වසා නම් දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයට මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාවට දිගුකලක් හිත පිණිස, සුව පිණිස පවත්නේ ය. වාසෙට්ඨය, තෙල මහා සල්රුක් දෙක නමුදු (සචේතනව) අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් මේ සල්රුක් දෙකට ද දිගුකලක් හිතයට සුවයට වන්නේ ය. මනුෂ්‍ය වූවක් හට කවර කථා යයි.
8. 1. 5. 5.
බොජ්ඣූපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ, අනාථපිණ්ඩිකයන්ගේ ආරාමයෙහි වෙසෙන සේක. එකල්හි බොජ්ඣා උවැසි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් බොජ්ඣා උවැසියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
බොජ්ඣාවෙනි, වුසූ අටඟින් යුත් පෙහෙවස් මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වෙයි.