8. 1. 5. 3.
විසාඛූපෝසථ සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්වාරාම නම් වූ මිගාරමාතුපාසාදයෙහි වැඩ වසන සේක. එකල්හි මිගාරමාතු විශාඛා තොමෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
විශාඛාවෙනි, විසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල ඇතියේ වෙයි, මහ අනුසස් ඇතියේ වෙයි, මහත් දිලුම් ඇත්තේ වෙයි, මහත් පැතුරුම් ඇත්තේ වෙයි.
විශාඛාවෙනි, කෙසේ විසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය. මහානෘශංස වේ ය, මහාද්යුතික වේ ය, මහා විස්ථාර වේ ය යත්:
විශාඛාවෙනි, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇතියාහු බහා තැබූ සැත් ඇතියාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්රාණීසමූහයා කෙරෙහි හිතානුකම්පා ඇතියාහු වෙසෙත්. මම ද අද මේ රෑත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහාතැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම් මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද ද වේ යයි මේ පළමු අඟින් සමන්වාගත වෙයි …
දිවිහිමියෙන් රහත්හු උසසුන්මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු (කුරු) හැඳෙක වේවයි. තණ ඇතිරියෙහි වේවයි නීචශය්යා කරත්. මම ද අද මේ රෑත් මේ දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියෙම් හැඳෙක වේවයි, තණ ඇතිරියෙහි වේවයි නීචශය්යා කෙරෙම්. මේ කරුණිනුදු මම රහතුන් අනුකරණ කරම්. මා විසින් පෙහෙවස් වුසුයේත් වන්නේ යයි මේ අටවැනි අඟින් සමන්වාගත වෙයි.
විශාඛාවෙනි, මෙසේ වුසූ අටඟින් සමන්වාගත වූ පෙහෙවස මහත් ඵල වෙයි. මහානිසංස වෙයි, මහාද්යුතික වෙයි, මහාවිස්ථාර වේ යයි.
කොතෙක් මහත්ඵල වේ ය, කොතෙක් මහානෘශංස වේ ය, කොතෙක් මහාද්යුතික වේය, කොතෙක් මහාවිස්ථාරවේය යත්:
විශාඛාවෙනි, යම්සේ අඞ්ග ය, මගධ ය, කාශී ය, කෝශල ය, වජ්ජී ය, මල්ය ය, චෙතී ය, වඞ්ගය, කුරු ය, පඤ්චාල ය, මත්ස්ය ය, ශූරසේන ය, අශ්වක ය, අවන්ති ය, ගන්ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්ය්යාධිපත්යය ඇති රාජ්යය යමෙක් කරන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්:
විසාඛාවෙනි, මානුෂක රාජ්යය දිව්ය සුඛය සඳහා අල්ප වෙයි. විසාඛාවෙනි, මිනිසුන්ගේ යම් පනස් හවුරුද්දෙක් වේ නම් තෙල සිව්මහරද වැසි දෙවියනට එක් රෑ දාවලෙක. එ රැයින් තිස් රෑ ඇතියේ මාසයෙක, එ මසින් දොළොස්මස් ඇතියේ හවුරුද්දෙක, එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් සිව්මහරද වැසි දෙවියන්ගේ ආයුප්රමාණය වේ. විසාඛාවෙනි, යම් හෙයකින් මෙලොව්හි ඇතැම් මාගමක් වේවයි, පුරුෂයෙක් වේවයි අටඟින් සමන්වාගත පෙහෙවස් වැස කාබුන් මරණින් මතු සිව්මහරද වැසි දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිවසුව පිණිස මානුෂක රාජ්යය අල්ප වෙයි යන යමක් කියන ලද නම් තෙල කරුණ මේ සඳහා කියන ලදී.
විසාඛාවෙනි, මානුෂක වූ යම් සියක් හවුරුද්දෙක් වේ නම් තව්තිසා වැසි දෙවියනට තෙල එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මාසයෙක, එ මසින් දොළොස්මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්යවර්ෂ සහස්රයෙක් තව්තිසා වැසි දෙවියනට ආයුප්රමාණ වෙයි. විසාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි ස්ත්රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් සමන්වාගත පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිව්ය සුඛය පිණිස මානුෂක රාජ්යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
විශාඛාවෙනි, මිනිසුන් සතු යම් දෙසිය හවුරුද්දෙක් වේ නම් ... අටසිය හවුරුදුයෙක් ... සොළොස්සියවසෙක් පරනිම්මිතවසවත්තී දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුදුයෙක. එ හවුරුදුයෙන් සොළොස් දහසක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයුප්රමාණය වෙයි.