8. 1. 5. 2.
විත්ථත අට්ඨඞ්ගුපෝසථ සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟින් සමන්වාගත වූ පෙහෙවස් වසන ලදුයේ මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්යුතික වෙයි, මහාවිස්ඵාර වෙයි, මහණෙනි, අටඟින් සමන්වාගත පෙහෙවස කෙසේ වසනලදුයේ මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: රහත්හු දිවිහිමියෙන් පණිවා හැර පණිවායෙන් දුරු වූවාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු ලජ්ජායෙන් යුක්ත වූවාහු දයාවට පැමිණියාහු සර්වප්රාණිගණයා කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා හැර පණිවායෙන් දුරු වූයෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහා තැබූ සැත් ඇතියෙම් ලජ්ජා ඇත්තෙම් දයාවට පැමිණියෙම් සර්වප්රාණිගණයා කෙරෙහි හිතානුකම්පා ඇත්තෙම් වෙසෙමි. මම් මේ කරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස වසනාලද වේ යයි මේ පළමුවන අඟින් සමන්වාගත වෙයි ...
රහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් හැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක වේවයි තණ ඇතිරියෙක වේවයි නීචශය්යා කෙරෙත්. මම ද මේ රැයත් මේ දාවලත් උසසුන් මහසුන් හැර උසසුන් මහස්නෙන් වැළැකියෙම් හැඳෙක වේවයි තණ ඇතිරියෙක වේවයි නීචශය්යා කරමි. මේ කරුණිනුදු මම් රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් ද වසන ලද වේ යයි. මේ අට වැනි කරුණින් සමන්වාගත වෙයි. මහණෙනි, මෙසේ අටඟින් යුත් පෙහෙවස වසන ලද්දේ මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්යුතික වෙයි. මහාවිස්ථාර වේ.
කොතෙක් මහත්ඵල වේය කෙතෙක් මහානෘශංස වේ ය, කෙතෙක් මහාද්යුතික වේ ය, කෙතෙක් මහා විස්ථාරවේ ය යත්:
මහණෙනි, යමෙක් යම්සේ අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ග ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්තී ය, ගන්ධාර ය, කම්බෝජ ය, යන නම් ඇති බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන් ගේ ඓශ්වර්ය්යාධිපත්යය ඇති රජය කරවන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවසුහුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එයට හේතු කවර යත්: මහණෙනි, දිව්ය සුඛය පිණිස මානුෂක රාජ්යය කෘපණ (දිළිඳු) වෙයි.
මහණෙනි, මිනිස්නට අයත් යම් මේ පනස් වසෙක් වේ නම් තෙල චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් රෑ දාවලෙක. එරැයින් තිස් රැයෙක් මසෙක: එ මසින් දොළොස් මසැතියේ හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව යම් ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. මහණෙනි, දිව්යසුඛය සඳහා (ශාක්ෂ්ය කොට සලකා) මානුෂික රාජ්යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලද්දේ ය.