8. 1. 5. 1.
සඞ්ඛිත්ත අට්ඨඞ්ගුපෝසථ සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, අටඟෙකින් සමන්වාගත පෙහෙවස් වසන ලදුයේ මහත්ඵල ඇත්තේ වෙයි, මහානෘශංස ඇත්තේ වෙයි, මහත් බැබළීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ ද වෙයි.
මහණෙනි, කෙසේ වසනලද අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ද, මහානිසංස වේ ද, මහාද්යුතික වේ ද, මහා විස්ථාර වේ ද යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: “රහත්හු දිවිහිම් කොට ප්රාණඝාත හැර ප්රාණඝාතයෙන් වැළකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජා ඇත්තාහු දයාවට පැමිණියාහු සර්වප්රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇති ව වසන්නාහ. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා හැර පණිවායෙන් වැළකියෙම් බහාතැබූ දඬු ඇතියෙම් බහාලු අවි ඇතියෙම් ලජ්ජා ඇතියෙම් දයාවට පැමිණියෙම් සර්වප්රාණී ගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම් මේ අඞ්ගයෙනුදු රහතුන් අනුකරණ කෙරෙමි. මා විසින් පෙහෙවස් ද වසන ලද වනැ යි මේ පළමු අඞ්ගයෙන් සමන්වාගත වෙයි.
2. රහත්හු දිවිහිම් කොට අයිනාදන් හැර අයිනාදනින් වැළකියාහු දුන් දෑ ගන්නාහු දුන් දෑ කැමැති වන්නාහු නො සොර වූ පිවිතුරු සිතින් වසන්නාහ. මම් ද අද මේ රැයත් මේ දාවලත් අයිනාදන් හැරපියා අයිනාදනින් වැළැකියෙම් දුන් දැ ගන්නෙම් දුන් දෑ කැමැති වන්නෙම් නො සොර වූ පිවිතුරු වූ සිතින් වෙසෙමි. මම් මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙමි. පෙහෙවස් ද මා විසින් වසන ලද වනැ යි මේ දෙවන අඞ්ගයෙන් සමන්වාගත වෙයි.
3. රහත්හු දිවිහිමියෙන් අබ්රම්සර හැර බ්රම්සර ඇත්තාහු (අබ්රහ්මචර්ය්යයෙන්) දුරු ව හැසිරෙන්නාහු ග්රාමධර්ම සඞ්ඛ්යාත මෙවුන්දමින් වැළකියාහු වෙසෙත්. මම ද අද මේ රැයත්, මේ දාවලත් අබ්රම්සර හැර බ්රම්සර ඇතියෙම් (අබ්රහ්මචර්ය්යයෙන්) දුරු වූ හැසුරුම් ඇතියෙම් ග්රාමධර්ම වූ මෙවුන්දමින් වැළකියෙම් වෙසෙමි. මම් මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙමි. මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ තෙවන අඞ්ගයෙන් සමන්වාගත වෙයි.
4. රහත්හු දිවිහිම් කොට මුසාවාදය හැර මුසාවාදයෙන් වැළැකියාහු සත්යවචන කියන්නාහු ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නාහු තහවුරු ව පිහිටි කථා ඇත්තාහු ඇදැහිය යුතු කථා ඇත්තාහු ලොව නො රවටන්නාහු වෙත්. මම ද අද මේ රැයත් මේ දහවලත් මුසවා හැර මුසවායෙන් වැළැකියෙම් ඇත්ත කියන්නෙම් ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නෙම් ස්ථිර ව පිහිටි කථා ඇත්තෙම් ඇදැහිය යුතු කථා ඇත්තෙම් ලොව නො රවටන්නෙම් වෙමි. මම මේ කරුණින් ද රහතුන් අනුකරණ කෙරෙමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සිවු වන කරුණින් සමන්වාගත වෙයි.
5. රහත්හු දිවිහිම් කොට මද ප්රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. මම් ද මේ රැයත් මේ දාවලත් මද ප්රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියෙම් වෙමි. මම මේ කරුණිනුදු රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ පස්වන අඞ්ගයෙන් යුතු වෙයි.
6. රහත්හු දිවිහිම් කොට එක් ම (පෙරවරු) බත ඇත්තාහු රාත්රි භෝජනයෙන් තොර වූවාහු විකල් බොජුනෙන් වැළැකියාහු වෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් එක භක්තික වූයෙම් රෑ බොජුනෙන් වැළැකියෙම් විකල් බොජුනෙන් වැළැකියෙම් වෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සවන අඟින් සමන්වාගත වෙයි.
7. රහත්හු දිවිහිම් කොට නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් යන මෙයින් ද මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම අඩුතැන් පිරවීම ඡවිරාග කරණ යන මෙයට කරුණු වන දැයින් ද වැළැකියාහු වෙති. මම් ද මේ රැයත් දාවලත් නැටුම් ගැයුම් වැයුම් දස්නෙන් හා මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳගැනුම අඩුතැන් පිරවීම ඡවිරාග කරණය යන මෙයට කරුණු වන දැයින් ද වැළකියෙම් වෙමි. මම් මේ කරුණින් ද රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සත්වන අඞ්ගයෙන් සමන්වාගත වෙයි.