8. 1. 4. 9.
පුඤ්ඤාභිසන්ද සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කුශල ප්රසව කරන සුව එළවන්නා වූ මොනොවට රූපාදි අග සැප දෙන, සුඛ විපාක ඇති සගසැප පිණිස පවත්නා පුණ්යාභිස්යන්දයෝ (පින් ඉපදීමට හේතුවන කරුණු) අට දෙනෙක් ඉෂ්ටය පිණිස කාන්තය (ප්රියභාවය) පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නාහ. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ ලොව අරීසවු තෙමේ බුදුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශල ප්රසව කරන සුව එළවන, මොනවට අග්රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා මේ පළමුවන පුණ්යාභිස්යන්දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
2. තවද මහණෙනි, අරීසවුතෙමේ දහම් සරණ ගියේ වෙයි. මහණෙනි, මේ ... දෙවන පුණ්යාභිස්යන්දය පවත්නේ ය.
3. තවද මහණෙනි, අරීසවු තෙමේ සඟුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශලප්රසවකරන, සුව එළවන, ස්වග්රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්ගයෙහි උපතට හේතු වන මේ තෙවන පුණ්යාභිස්යන්දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනු පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
4. මහණෙනි, අග්ර යයි දතයුතු වූ දිගුකලක් පැවැත්තාහ යි දතයුතු වූ වංශ යයි දතයුතු වූ පැරණි වු අසඞ්කීර්ණ වූ (නො හළ) (පෙර බුදුරදුන් විසිනුදු) අසංකීර්ණ පූර්ව වූ මහදන් වූ මේ දන්හු පස්දෙනෙක් (දැනුදු) නො නෙරනා ලැබෙත් (අනායෙහිදු) නො නෙරනු ලබන්නාහ. නුවණැති මහණබමුණන් විසින් අනින්දිත වෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව්හි අරීසවු තෙමේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. මහණෙනි, පණිවායෙන් වැළැකි අරීසවු තෙමේ අපරිමාණ වූ සත්නට අභය දෙන්නේ ය. අවෛරය දෙන්නේ ය. නිදුක්බව දෙන්නේ ය. අපරිමාණ වූ සත්නට අභය දී අවෛරය නිදුක් බව දී අපරිමාණ වූ අභයට අවෛරයට, නිදුක් බවට භාගී (හිමි) වෙයි. මහණෙනි, අග්රයයි දතයුතු, දිගුකල්පැවැතියේ යයි දතයුතු, වංශ යයි දතයුතු පැරණි වූ අසඞ්කීර්ණ වූ අසඞ්කීර්ණ පූර්ව වූ නුවණැති මහණ බමුණන් විසින් නො පිළිකෙව් කළ දානය වන මහාදානය නො නෙරනා ලැබේ. නො නෙරනාලබන්නේ ය. මහණෙනි, කුශලප්රසව කරන, සුව එළවන, ස්වග්රරූපාදිය දෙන, සුඛ විපාක ඇති ස්වර්ගයෙහි උපතට හේතු වූ මේ සිවුවන පුණ්යාභිස්යන්දය ඉෂ්ට පිණිස කාන්තබාවය පිණිස මනවඩනු පිණිස, හිත පිණිස සුඛ පිණිස පවත්නේ ය.
5-8. තවද මහණෙනි, අරීසවු තෙමේ අයිනාදනින් හැර අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයෙහි මිසහසර හැර කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි ... මුසවා හැරදමා මුසවායෙන් වැළැකියේ වෙයි ... මද ප්රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි, මදයට හා ප්රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකි අරීසවු තෙමේ අපරිමාණ වූ සත්නට අභය දෙන්නේ ය, අවෛරය දෙන්නේ ය, නිදුක්බව දෙන්නේ ය. අපරිමාණ වූ සත්නට අභය දී අවෛරය දී නිදුක්බව දී අපරිමාණ වූ අභයට අවෛරයට නිදුක්බවට භාගී වෙයි.