8. 1. 4. 8.
සප්පුරිස සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස්කම්කරුපුරිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍ර අමාත්‍යයනට (සගයහළුවනට) අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පරලොව ගියවුන්ට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණ, බමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
මහණෙනි, යම්සේ මහාමේඝය සර්‍වසස්‍යයන් සමෘද්ධ කරනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, මහණෙනි, එපරිදිම සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස් කම්කරුපුරිසනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍රමාත්‍යනයට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පූර්‍වප්‍රේතයනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණබමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
1. සප්‍රාඥ තෙමේ ගෙහි වසනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස ම (වෙයි). පළමු කොට දිව රෑ දෙක්හි අනලස් වූයේ මව හා පියා හා,
2. පෙර කළ ගුණ සමරමින් සකරුණින් (ප්‍රත්‍ය පූජායෙන්) පුදන්නේ ය. අනගාරිය වූ පැවිදි බඹසරුන් පුදන්නේ ය.
3. බැසගත් සැදැහැ ඇතියේ ධර්‍මයන් දැන මෙ ලොව ප්‍රියශීලීන් පුදයි. රජුට හිත වූයේ දෙවියනට හිත වූයේ නෑයනට හා යහළුවනට හිත වූයේ වෙයි.
4. සදහම්හි සුපුහිටි හෙ හැමට හිත වූයේ වෙයි. හේ මසුරුමල මැඩ ස්වර්‍ගලෝකය බෙජෙයි.
8. 1. 4. 9.
පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කුශල ප්‍රසව කරන සුව එළවන්නා වූ මොනොවට රූපාදි අග සැප දෙන, සුඛ විපාක ඇති සගසැප පිණිස පවත්නා පුණ්‍යාභිස්‍යන්‍දයෝ (පින් ඉපදීමට හේතුවන කරුණු) අට දෙනෙක් ඉෂ්ටය පිණිස කාන්තය (ප්‍රියභාවය) පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නාහ. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ ලොව අරීසවු තෙමේ බුදුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශල ප්‍රසව කරන සුව එළවන, මොනවට අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා මේ පළමුවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.