8. 1. 4. 4.
ඛෙත්තූපම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල නො වේ. මහත් ආස්වාද ඇත්තේ (මධුර) නොවේ. නො වැඩෙන්නේ යි. කෙසේ අටඟින් යුත් කෙතෙහි ද යත්:
මහණෙනි, මෙලොවැ කෙතක් වළගොඩැලි ඇත්තේ ද වෙයි. අතළගල් කුඩාගල් හා බොරළු ඇත්තේ ද වෙයි. කරමැටි ඇත්තේ ද වෙයි. නො ද ගැඹුරට සාන ලද වෙයි. (ගලාඑන) දිය මං නැත්තේ ද වෙයි. (ගලායන) දියමං ඇත්තේ ද නො වෙයි. (කුදුමහත්) දිය ඇලි ඇත්තේ ද නොවෙ යි. කෙත්සීමා (මියර) සහිත වූයේ ද නො වේ. මහණෙනි, මෙසේ අටඟින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල නො වෙයි, මධුර නො වේ. නො වැඩෙන්නේ යී.
මහණෙනි, එසෙයින් ම අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත් ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහත් ශෝභා ඇත්තේ නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ. කෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත්:
මහණෙනි, මෙලොවැ මහණබමුණෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වෙති, මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වෙති, මිථ්‍යාවචන ඇත්තෝ වෙති, මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වෙති, මිථ්‍යාආජීව ඇත්තෝ වෙති, මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වෙති, මිථ්‍යාස්මෘති ඇත්තෝ වෙති, මිථ්‍යාසමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ.
මහණෙනි, අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල ඇත්තේ වේ. මහත් ආස්වාද ඇත්තේ (මධුර) වේ. වැඩෙන්නේ ය, කෙසේ අටඟෙකින් යුත් කෙතෙහි ද යත්:
මහණෙනි, මෙ ලොවැ කෙතක් වළගොඩැලි නැත්තේ ද වෙයි. ගල් බොරළු නැත්තේ ද වෙයි. කරමැටි නැත්තේ ද වෙයි. ගැඹුරට සානලද ද වෙයි, (ගලාඑන) දිය මං ඇත්තේ ද වෙයි. (ගලායන) දියමං ඇත්තේ ද වෙයි. (කුදුමහත්) දිය ඇලි ඇත්තේ ද වෙයි. කෙත් සීමා (මියර) සහිත ද වෙයි. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බීජ මහත්ඵල ඇත්තේ වෙයි. මධුර වෙයි. වැඩෙන්නේ යි.
මහණෙනි, එ පරිද්දෙන් ම අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල වේ. මහත් අනුසස් ඇත්තේ වේ. මහාද්‍යුතික වේ. මහාපැතිරීම් ඇත්තේ වේ. කෙසේ අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත්: මහණෙනි, මෙලොව මහණබමුණෝ සම්‍යග්දෘෂ්ටිකයෝ වෙති. සම්‍යක්සංකල්ප ඇත්තෝ වෙති. සම්‍යක් වචන ඇත්තෝ වෙති. සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ වෙති. සම්‍යක් ආජීව ඇත්තෝ වෙති. සම්‍යග්ව්‍යායාම ඇත්තෝ වෙති. සම්‍යක් ස්මෘති ඇත්තෝ වෙති. සම්‍යක් සමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් මහණ බමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵලවෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි, මහාද්‍යුතික වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
1. පිරිපුන් සම්පත් ඇති කෙතෙහි වපුළ බීජසම්පත්ති තොමෝ වැසි මැනවින් වස්නා කල්හි යම්සේ යහපත් ධාන්‍ය සම්පත් ඇත්තී වේ ද,
2. (ඕ) පණුඋවදුරු නැති බව නමැති සම්පත් ඇත්තී වෙයි. වෘද්ධිසම්පත් ඇත්තී වෙයි. වෛපුල්‍ය සම්පත් ඇත්තී වෙයි. ඒකාන්තයෙන් ඵලසම්පත් ඇත්තී වෙයි.
3. එසේම පිරිපුන් සිල් ඇත්තවුන් කෙරෙහි දෙන ලද භෝජන සම්පත් තොමෝ කුශලසම්පත් එළවයි. ඔහු විසින් කරන ලද ඒ කර්‍මය යම්හෙයකින් පිරිපුන් වේ ද,
4. එහෙයින් මෙලොව සම්පත් කැමැත්තේ පිරිපුන් පුඟුලෙක් වේවා, පිරිපුන් පැණැත්තන් සේවනය කෙරේවා. සම්පත්හු මෙසේ සමෘද්ධ වෙත්.
5. විද්‍යාවෙන් හා චරණධර්‍මයෙන් යුක්තවූයේ චිත්තසම්පත් (නොවකල්බව) ලැබ කර්‍මසම්පත් (පරිපූර්‍ණ කර්‍ම) කෙරෙයි. (පිරිපුන්) අර්‍ත්‍ථසම්පත් ද ලබයි.
6. (විදර්‍ශනා) දෘෂ්ටි සම්පත්තියට පැමිණ තත්වූ පරිදි ලොව දැන (සෝතාපත්ති) මාර්‍ගසම්පත්තියට පැමිණ පිරිපුන් සිත් ඇත්තේ අර්‍හත්ත්‍වයට යෙයි.
7. මුළු කෙලෙස්මල කම්පිත කොට හැර නිවන් සැපතට පැමිණ සියලු දුකින් මිදෙයි. ඒ විමුක්ති තොමෝ සර්‍වසම්පත් නම් වෙයි.