8. 1. 4. 5.
දානූපපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ දානෝපප්‍රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්:
1. මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බමුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි. හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු ක්‍ෂත්‍රිය මහාසාරයන් ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.
2. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන්දෙයි. හෙතෙමේ යමක් දේ ද, එය නැවත පතයි. ඔහු විසින් (මෙසේ) අසනලද්දේ වෙයි: චාතුම්මහාරාජික දෙව්ලොව දෙවියෝ දීර්‍ඝායුෂකයෝ ය, වර්‍ණවත්හු ය, සැපබහුල කොට ඇත්තෝ ය. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් කාබුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණේ මත්තෙහි නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මත්තෙහි සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි, දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.
3-7 මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් දන් දෙයි. යමක් දේද, එය නැවත පතයි, ඔහු විසින් මෙසේ අසන ලද්දේ වෙයි: තාවතිංස දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිම්මාණරතී දෙවියෝ ... පරනිම්මිතවසවත්තී දෙවියෝ දීර්‍ඝායුෂ්කයෝ ය. වර්‍ණවත්හු ය, සැප බහුල කොට ඇත්තෝ යි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහවාසයට යන්නෙම් නම් ඉතා යෙහෙකි. හේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය සමෘද්ධ වේ. පිරිසුදු බැවිනි.
8. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හේ යමක් දේ නම් එය නැවත පතයි. බ්‍රහ්මකායික දෙවියෝ දීර්‍ඝායුෂකයෝ ය. වර්‍ණවත්හු ය. සැපබහුල කොට ඇත්තෝ යි, ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ යි, හෙතෙමේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. වීතරාගයාහට කියමි. සරාගයාහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය සමෘද්ධ වේ. පහවූ රාගය ඇති බැවිනි. මහණෙනි, මේ දානුපපත්ති අටයි.
8. 1. 4. 6.
පුඤ්ඤකිරියවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි,මේ පින්කිරියවත් තුනෙකි, කවර තුනෙක යත්:
දානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශීලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි.