8. 1. 3. 10.
අනුරුද්ධ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භේසකලාවන නම් මුවවෙනෙහි වැඩ වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චෙතී දනව්වෙහි (බුදුරදුන් වැඩහුන් තැනින්) පෙරදිගෙහි වූ හුණ වෙනෙහි වෙසෙති. ඉක්බිති රහසිගත වූ එකලාව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි මෙ බඳු අදහසෙක් (මහා පුරුෂ විතර්‍කයෙක්) පහළ විය;
එනම්, මේ (නව ලෝකෝත්තර) ධර්‍මය (ලද ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමේ මාත්‍රඥතායෙන් ද) අල්පේච්ඡයා හට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ. මේ ධර්‍මය (සිවුපසෙහි තෙවැදෑරුම් සන්තෝසයෙන්) සතුටු වන්නහුට ය. මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වේ. මේ ධර්‍මය (කාය චිත්ත උපධිවිවේකයන්ගෙන්) ප්‍රවිවික්ත සිත් ඇතියහුට ය. මේ ධර්‍මය (ගණසඞ්ගණිකායේහි හා ක්ලේශසඞ්ගණිකායේහි ඇලුණු) සඞ්ගණිකාරාමයාහට නො වේ. මේ ධර්‍මය (කායිකචෛතසික වසයෙන්) පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට ය. මේ ධර්‍මය කුසීතයාහට නො වේ. මේ ධර්‍මය (සතර සතිපට්ඨාන වසයෙන්) එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වේ. මේ ධර්‍මය එකඟ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තහුට නො වේ. මේ ධර්‍මය (කර්‍මස්වක ප්‍රඥායෙන්) ප්‍රඥා ඇත්තහුට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි වූ පරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් දැන යම් සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ ද, දික් කළ අතක් හකුළුවන්නේ ද, එසෙයින් භග්ගජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි භේසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන් වූසේක් චෙතී ජනපදයෙහි වූ (දශබල වසනස්ථානයෙන්) පෙරදිගෙහි පිහිටි හුණවෙනෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හමුයෙහි පහළ වූ සේක.
භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක් හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ‘අනුරුද්ධය, මැනව, මැනව, අනුරුද්ධය, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයා ට නො වෙයි. මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මේ ධර්‍මය ප්‍රවිවික්තයාට ය, මේ ධර්‍මය සඞ්ගණිකාරාමයාට නො වෙයි. මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයා ට නො වෙයි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වෙයි. මේ ධර්‍මය සමාහිතයාට ය, මේ ධර්‍මය අසමාහිතයාට නොවෙයි. මේ ධර්‍මය ප්‍රඥාවත් හට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි තෙපි යම් මහාපුරුෂවිතර්‍කයක් විතර්‍කණය කරහු ද, එය මනා මැ යි.