8. 1. 1. 9.
නන්‍ද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මොනොවට කියනුයෙක් නන්‍දයන් ගෙන ජාතිකුලපුත්‍රය හ යි කියන්නේ ය. මහණෙනි, මොනොවට කියන්නෙක් නන්‍දයන් බලවත්හ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ප්‍රසාදජනකයහ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් තීව්‍රරාග ඇතිය හ යි බණන්නේ ය.
මහණෙනි, අන් කරුණින් කිම? නන්‍ද පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට යමෙකින් හැකි වේද එබඳු වූ ඉන්‍ද්‍රිය විෂයයෙහි ගෝපනය කළ දොර ඇතියේ ය. භෝජනයෙහි මාත්‍රඥ ය. නිදි වැරීමෙහි යෙදුනේ ය. ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත යි.
මහණෙනි, එහි ලා නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා මේ වෙයි: මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පෙරදිග බැලියයුතු වේ නම් නන්‍දයෝ හැම සිතින් සමනා පෙරදිග බලති. ‘මෙසේ පෙරදිග බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයෝ ලුහු නො බඳනාහු ය’ කියායි. එහි නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පශ්චිම දිශාව බැලිය යුතු වේ නම් ... උත්තර දිශාව බැලිය යුතු වේ නම් ... දක්‍ෂිණ දිශාව බැලිය යුතු වේ නම් ... උඩ බැලිය යුතු වේ නම් ... යට බැලිය යුතු වේ නම් ... අනුදිශා දිශාව බැලිය යුතු වේ නම්, නන්‍දයෝ හැම සිතින් සමනා අනුදිශා බලති. ‘මෙසේ අනුදික් බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ රැස් නොවන්නාහුය’ කියා යි. මෙසේ එහි නුවණින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ වනාහි නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා වෙයි.
මහණෙනි, එහිලා නන්‍දයන්ගේ භෝජනයෙහි මාත්‍රඥතා මේ වෙයි: මහණෙනි, නන්‍දයෝ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳති. දිව පිණිස නො වෙයි, මද පිණිස නොවෙයි, මණ්ඩන පිණිස නොවෙයි, භූෂණ පිණිස නොවෙයි, මේ ආහාරය මේ ශරීරයාගේ ස්ථිතිය පිණිස ම, යැපීම පිණිස ම, විහිංසා නස්නා පිණිස ම, බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස ම වෙයි. මෙසේ නො වැළඳීමෙන් වූ පුරාණ වේදනා ද නසන්නෙමි, අභිනව වේදනා ද නූපදවන්නෙමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතාව හා ඵාසුවිහරණය ද වේ ය කියායි. මහණෙනි, මේ නන්‍ද තෙරහුගේ භෝජනයෙහි මාත්‍රඥතාව වෙයි.
මහණෙනි, එහිලා මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි: මහණෙනි, නන්‍දයෝ දාවල සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ පළමුයම සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ මැදුයම්යම පා මත පා හයා තබා සිහි නුවණින් යුතු වැ උත්‍ථානසංඥාව මෙනෙහිකොට දකුණැලයෙන් සිංහසය්‍යා කෙරෙති. රෑ පැසුළුයම නැඟී සිට සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි.
මහණෙනි, එහි මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වේ: මහණෙනි, නන්‍දයන් දන්නා ලද වූ ම වේදනාවෝ උපදිත්. දන්නා ලද වූ ම වේදනාවෝ වටහත්. දන්නා ලද වූ ම වේදනාවෝ අස්තයට යෙත්. දන්නා ලද වූ ම සංඥාවෝ උපදිත් ... දන්නා ලද වූ ම විතර්‍කයෝ උපදිත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ වටහත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ අස්තයට යෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වෙයි.
මහණෙනි, අන් කරුණෙකින් කිම? යමෙකින් නන්‍දයෝ පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට හැකිවෙත් ද, එබඳු වූ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරතා ඇතියහ, භෝජනයෙහි පමණ දන්නාහ, නිදි වැරීමෙහි යෙදුනාහ. ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයහ යි.
8. 1. 1. 10.
කාරණ්ඩව සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ගග්ගරා පොකුණු තෙර වැඩ වසන සේක. එ සමයෙහි මහණහු මහණක් හට ඇවතින් චෝදනා කෙරෙත්. ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබනුයේ අන් වචනයෙකින් අන්වචනය වසයි. බැහැරින් අන් අමුතු කථාවත් බහයි, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරියයුත්තෙක. තොප විසින් පරපුත්‍රයෙක් කුමට පෙළනු ලැබේ ද?
මහණෙනි, මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් අන්‍ය භද්‍ර වූ මහණුන්ගේ ඉදිරි බලා යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම හා ඔබ මොබ බැලීම හා අත්පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු දැරීම් යම්සේ වේද, එසෙයින් ඇතැම් පුද්ගලයක්හුගේ එබඳු ම ඉරියවු වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද එකල ඔහු මෙසේ දනිති: මේ ශ්‍රමණදූෂ්‍යයෙක, ශ්‍රමණප්‍රලාපයෙක, මහණ කසළෙකැයි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍යභද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.