8. 1. 1. 10.
කාරණ්ඩව සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ගග්ගරා පොකුණු තෙර වැඩ වසන සේක. එ සමයෙහි මහණහු මහණක් හට ඇවතින් චෝදනා කෙරෙත්. ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබනුයේ අන් වචනයෙකින් අන්වචනය වසයි. බැහැරින් අන් අමුතු කථාවත් බහයි, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරියයුත්තෙක. තොප විසින් පරපුත්‍රයෙක් කුමට පෙළනු ලැබේ ද?
මහණෙනි, මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් අන්‍ය භද්‍ර වූ මහණුන්ගේ ඉදිරි බලා යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම හා ඔබ මොබ බැලීම හා අත්පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු දැරීම් යම්සේ වේද, එසෙයින් ඇතැම් පුද්ගලයක්හුගේ එබඳු ම ඉරියවු වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද එකල ඔහු මෙසේ දනිති: මේ ශ්‍රමණදූෂ්‍යයෙක, ශ්‍රමණප්‍රලාපයෙක, මහණ කසළෙකැයි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍යභද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, යම් සේ සමෘද්ධ වූ යවක්‍ෂේත්‍රයෙක යවදූෂණ යවප්‍රලාප යවකසළ උපදනේ වේ ද, අන්‍යභද්‍ර යවයන්ගේ මුල් යම් සේ වේ නම් ඒ යව කසළහුගේ එබඳු වූ ම මුල් වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ නළ යම්සේ වේ නම් එබඳු වූ ම නළ වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ පත් යම්සේ වේ නම් එබඳු වූ ම පත්වැටි වෙයි. යම් තාක් ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද ඒ තාක් මය. යම් කලෙක ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද, එකල ඒ යවය මෙසේ හඳුනත්: මේ යවදූෂණ ය, යවප්‍රලාප ය, යවකසළ ය කියා යි. ඒ යවකසළය මෙසේ හඳුනා සහ මුලින් උපුටා යවක්‍ෂෙත්‍රයන් බැහැර ලත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රයවයන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, එ පරිදි ම මේ සස්නෙහි කිසි පුඟුක්හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම්සේ වේ නම් එබඳු වූ ම ඉදිරිගමන් හා පෙරළා ගමන් හා ඉදිරිබැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් ම ය. යම් දවසෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ දවස් ඔහු මෙසේ හඳුනත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණප්‍රලාපයෙක, මේ මහණකසළෙක කියා යි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍ය භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, යම්පරිදි පොළනු ලබන මහත් ධාන්‍ය රාශියක්හුගේ සාරවත් දෘඪධාන්‍යයෝ ඇද්ද, ඒ ධාන්‍ය එක්පසෙක ගොඩ වෙයි. බොල් වූ දුබල වූ යම් ඒ ධාන්‍යයෝ ඇද්ද, වාතය ඒ ධාන්‍ය එක්පසෙක ඇද දමයි. කෙත් හිමියෝ සුළංකුල්ල ගෙන ඒ බොල් ධාන්‍ය බෙහෙවින් ම බැහැර කරත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රධාන්‍ය නහමක් දූෂණය කෙරේ වා කියා යි.
මහණෙනි, එ පරිදි ම මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හට අන්‍යභද්‍ර භික්‍ෂූන් හට යම් බඳු වේ ද, එබඳු වූ ඉදිරි යාම් හා පෙරළා ඊම් හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ තෙක් මය. එකල ඔහු මෙසේ හඳුනා ගනී: මේ ශ්‍රමණදූෂකයෙක, ශ්‍රමණප්‍රලාපයෙක්, මහණ කසළෙක කියා යි. මෙසේඔහු හඳුනා බැහැර නෙරත් ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.