8. 1. 1. 8.
උත්තර සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි වෙසෙති. එකල්හි ආයුෂ්මත් උත්තර තෙරහු භික්‍ෂූන් ඇමතූහ. ...
ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ යි.
එ සමයෙහි වනාහි වෙසවුණු මහරජ යම් මැ කටයුත්තෙකින් උතුරුදිගින් දකුණු දිගට යන්නේ ය. වෙසවුණු මහරජ මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් සඟනට මෙසේ දහම් දෙසනු ඇසී: ඇවැත්නි, මහණ කලින්කල ආත්ම විපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින්කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ . ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ කියා යි.
ඉක්බිති වෙසවුණු මහරජ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් යම් සේ දික් කරන්නේ හෝ වේ ද, දික් කළ අතක් යම් සේ වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මහිසවත්‍ථුයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි අතුරුදහන් වූයේ තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය.
ඉක්බිති වෙසවුණු මහරජ සක්දෙවිඳු වෙත එළඹියේ ය. එළඹ සක්දෙවිඳු හට තෙල සැලකළේය: නිදුකාණෙනි, දන්නෙහි: “තෙල ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි සඟනට මෙසේ දම් දෙසති: “ඇවැත්නි, මහණ කලින්කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ, ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් … ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ”යි.
ඉක්බිති සක්දෙවිඳු යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික් කරන්නේ හෝ වේ ද, දික්කළ අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් ම තව්තිසා දෙවියන් කෙරෙහි අතුරුදන් වූයේ මහිසවත්‍ථු සමීපයෙහි වූ සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් හමුයෙහි පහළ වී ය. ඉක්බිති සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උත්තර තෙරුන් වැඳ එකත්පස් වැ සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන්ට තෙල සැළ කෙළේය:
වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ “ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ”යි මෙසේ සඟනට දහම් දෙසුවාහු සැබැවෙක් දැයි?
එසේ යැ දේවේන්‍ද්‍රය,
කිම වහන්ස, මෙ ආයුෂ්මත් උත්තරයන්ගේ ස්වයං ප්‍රතිභානයෙක් වේ ද? නොහොත් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ බසෙක් වේ දැ? යි.
එසේ වී නම් දේවේන්‍ද්‍රය, තොපට උපමාවක් කරමි. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නාහයි. යම්සේ දේවේන්‍ද්‍රය, ගමකට වේවයි නියම් ගමකට වේවයි නුදුරෙහි මහා ධාන්‍යරාශියෙක් වේ නම් එයින් මහාජනසමූහයා කයිනුදු පේළායෙනුදු ඇකයෙනුදු ඇඳිලියෙනුදු ධාන්‍ය ගෙන එන්නේ ය. දේවේන්‍ද්‍රය, යමෙක් ඒ මහාජනසමූහයා වෙත එළඹ කොයින් මේ ධාන්‍ය ගෙනෙවුදැ යි මෙසේ පුළුවුස්නේ නම් දේවේන්‍ද්‍රය, එය විවරණ කරනුයේ ඒ මහාජනකාය කෙසේ නම් මොනොවට විවරණ කරන්නේ වේ ද?