8. 1. 1. 5.
පළමුවැනි ලෝකධම්ම සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අෂ්ට ලෝකධර්මයෝ ලොව අනුව පෙරැළෙත් ලෝකය ද අෂ්ටලෝකධර්මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභය ද අලාභය ද අයස ද යස ද නින්දාව ද ප්රශංසාව ද සුඛය ද දුඃඛය ද යන මේ යි. මහණෙනි, මේ අටලෝදහම්හු ලොව අනුව පෙරැළෙති, ලොව ද මේ අටලෝ දහම් අනුව පෙරැළේ යයි.
1. ලාභ ය, අලාභ ය, අයසය, යස ය, නින්දා ය, පසංසා ය, සුඛ ය, දුක්ඛ ය යන අනිත්ය වූ අශාශ්වත වු මේ ධර්මයෝ මනුෂ්යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාව ඇතියහ.
2. ස්මෘතිමත් වූ පණ්ඩිත තෙමේ තෙල විපරිණාමධර්මයන් දැන (නුවණින්) බලයි. ඉෂ්ට වූ (ලාභාදි) ධර්මයෝ ඔහුගේ සිත නො මඩනාහ. අනිටු දහමින් (නොහොත් අනිටුදහම් විසයෙහි) හෙ ප්රතිඝාතයට නො පැමිණෙයි.
3. ඔහුගේ අනුරෝධයෝ නොහොත් විරෝධයෝ වනසන ලද්දාහු අස්තයට ගියාහු නො ම ඇතියහ. රජස් නැති ශෝක නැති නිර්වාණපදය ද දැන භවයාගේ පරතෙරට ගියේ (එබව) මොනොවට දන්නේ යි.
8. 1. 1. 6.
දෙවැනි ලෝකධම්ම සූත්රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ලෝකධර්මයෝ අටදෙනෙක් ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද අෂ්ටලෝකධර්මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභ යැ අලාභ යැ අයස යැ යසයැ නින්දා යැ පසංසා යැ සුඛ යැ දුක්ඛ යැ යන අට යි. මහණෙනි, මේ අට ලෝදහම්හු ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද මේ අටලෝදහම් අනුව පෙරැළෙයි.
මහණෙනි, අශ්රැතවත් පෘථග්ජනයාහට ලාභයත් උපදියි, අලාභයත් උපදියි, අයසත් උපදියි, යසත් උපදියි, නින්දාත් උපදියි, පසංසාත් උපදියි, සුඛත් උපදියි, දුක්ඛත් උපදී.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට ද ලාභත් උපදනේ ය, අලාභත් උපදනේ ය, යසත් උපදනේ ය, අයසත් උපදනේ ය, නින්දාත් උපදනේ ය, ප්රශංසාත් උපදනේ ය, සුඛත් උපදනේ ය, දුඃඛත් උපදනේ යි.
2. මහණෙනි, එහිලා අශ්රැතවත් පෘතග්ජනයාට වඩා ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාගේ වෙසෙස කවර, අධික ප්රයෝගය කවර, නානාකරණය කවරැ?
වහන්ස, ධර්මයෝ භාග්යවතුන් වහන්සේ ප්රභව කොට පවත්නාහ, භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ගෙන පවත්නාහ, භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ගෙන පවත්නාහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේ නම් මැනැවි. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා දරන්නාහ යි.