8. 1. 1. 2.
ආදිබ්රහ්මචරියපඤ්ඤා සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නො ලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනා ප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස වඩනු පරිපූරභාවය පිණිස හේතූහු අට දෙනෙක් ප්රත්යයයෝ අට දෙනෙක් පවත්නාහ. කවර අට දෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්යතර සබ්රම්සරකු හෝ ඇසිරි කොට වෙසෙයි. මහණෙනි, මේ පළමු හේතුව පළමු ප්රත්යය නො ලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
2. හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල වූ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්යතරසබ්රම්සරකු හෝ ඇසිරි කොට වෙසේ. කලින් කල ඔවුන් වෙත එළැඹ වහන්ස, මේ කෙසේ ද? මේ පෙළදහම්හුගේ අර්ත්ථ කවරේ දැයි පරිපුච්ඡා කෙරෙයි. ප්රශ්න කෙරෙයි. ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැයත් විවරණ කෙරෙති, අප්රකට දැයත් ප්රකට කෙරෙති. නන් වැදෑරුම් සැක කරනට නිසි දහම්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ දෙවන හේතුව දෙවන ප්රත්යයය නො ලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනා ප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
3. හේ එ දහම් අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් දැයි දෙවැදෑරුම් විවේකයෙන් සපයයි. මහණෙනි, මේ තෙවන හේතුව තෙවන ප්රත්යයය නොලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
4. සිල්වත් ද වෙයි. ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘතව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්ර වූ වරදෙහිත් බිය දක්නා සුලු වූයේ සමාදාන කොට සිකපදයෙහිදු හික්මෙයි. මහණෙනි, නො ලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සිවුවන හේතුව සිවුවන ප්රත්යය පවත්නේ ය.
5. බහුශ්රුත වූයේ ශ්රැතධර වූයේ මුළු කොට ගත් හදාළ පෙළ - අරුත් ඇතියේ වෙයි. ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසාන කල්යාණ වූ යම් දහම්හු සාර්ත්ථ-සව්යඤ්ජන කොට කේවලපරිපූර්ණ-පරිසුද්ධ බ්රහ්මචර්ය්ය පවසත් ද, එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වෙත්. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුන පුනා බලන ලද්දාහු දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. මහණෙනි, නො ලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස වඩනු පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ පස්වන හේතුව පස්වන ප්රත්යය පවත්නේ ය.
6. අකුශල ධර්මයන් ප්රහාණ කරනු පිණිස කුශලධර්මයන් වඩනු පිණිස ඇරඹූ වැර ඇතියේ බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල් දහම්හි නො හළ වෙර ඇතියේ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්ගබ්රහ්මචර්ය්යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්රඥාව පිළිබඳ භූයස්ත්වය පිණිස වෛපුල්යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සවන හේතුව සවන ප්රත්යය පවත්නේ ය.