7. 2. 1. 9.
[මාපුඤ්ඤභායි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, පුණ්‍යයනට නහමක් බිය වවු. මහණෙනි, යම් මේ ‘පුණ්‍ය’ යන ශබ්දයෙක් වේ නම් තෙල සුඛයට නමෙකි.
මහණෙනි. මම දීර්‍ඝරාත්‍රයෙහි කරණලද පුණ්‍යකර්‍මයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දීර්‍ඝරාත්‍රයෙහි පුනපුනා විඳුනාලද විපාක මොනොවට දන්මි. සත්වසක් (ධ්‍යානගත) මෙත්සිත් වැඩීමි. සත්වසක් මෙත්සිත් වඩා නස්නා වූ ද වැඩෙන්නා වූ ද කප්සතක් යළි මෙ ලොවට උපත් විසින් නො පැමිණියෙමි. මහණෙනි, ලොව නස්නා කල්හි මම ආභාස්වර බඹලොවට පැමිණියෙමි. ලොව වඩනා කල්පයෙහි ශූන්‍ය බ්‍රහ්මවිමානයෙහි උපදිමි. මහණෙනි, එහි දු මම බ්‍රහ්ම වූයෙම් සෙසු බඹුන් මඩනාසුල්ලෙම්, අභිභූත නො වූයෙම්, ඒකාන්තයෙන් දක්නා සුලුයෙම්, මෙරමා වශයෙහි පවත්වනසුල්ලෙම් වෙමි. මහණෙනි, මම සතිස්වරක් දෙවියනට ඉන්‍ද්‍ර වූයෙම් ශක්‍ර වීමි. නොයෙක්වර ධාර්මික වූ ධර්‍මරාජ වූයෙම් සිවුසයුර හිම් කොට ඇති මිහිපල් වූයෙම් දිනූ සඞ්ග්‍රාම ඇතියෙම්, ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියෙම් සත්රුවනින් සමන්‍වාගත වූයෙම් සක්විතිරජවීමි. මහණෙනි, සත්රුවනින් නම්: සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන. ඉතිරිරුවන. ගැහැවිරුවන, සෙනෙවිරද්රුවන යි. මහණෙනි, එබඳු මට සත්රුවනින්හූ වූහ. මහණෙනි, මට සූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරුසෙන් මඩනා දහසකට වැඩි පුත්‍රයෝ වූහ. එබඳු මම සයුරු හිම් කොට ඇති පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් දිනාගෙණ විසීමි යි.
41. සුවකැමැතියෙනි, කුශල සඞ්ඛ්‍යාත පුණ්‍යයන්ගේ විපාකය නහමවු. මහණෙනි, සත්වසක් මෙත්සිත් වඩා මම සප්තසංවර්‍ත විවර්‍තකල්පයක් මෙ මිනිස්ලොවට පෙරළා නො පැමිණියෙමි.
42. ලෝකය නස්නා කල්හි මම ආභාස්වරෝපග වෙමි. ලෝකය වැඩෙන කල්හි ශුන්‍ය වු බ්‍රහ්මවිමානෝපගවීමි.
43. එකල්හි මම සත් වරක් වසවත් මහබඹ වීමි. සතිස් වරක් දේවේන්‍ද්‍ර වූයෙම් දෙව්රජය කරවීමි.
44. මම ජම්බුදීපේශ්වර වූයෙම් සක්විති රජ වීමි. මූර්‍ධාභිෂික්තව ක්‍ෂත්‍රිය මනුෂ්‍යයනට අධිපති වීමි.
45. අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙ පොළොව දිනා නො සැහැසිකමින් දැහැමින් සෙමෙන් රාජ්‍යානුශාසන කෙළෙමි.
46. මේ පොළෝමඬුලුයෙහි දැහැමින් රජය කොට මහද්ධන ඇති මහා භෝග ඇති ආඪ්‍ය වූ කුලයෙහි උපන්මි.
47. හැම කාමවස්තුයෙන් හා සප්තරත්නයෙන් සපන් වීමි. ලොව්හි බුදුවරු සංග්‍රාහක වෙති. උන්වහන්සේ විසින් තෙල කරුණ මොනොවට දෙසනලදී.
48. යම් හෙයෙකින් පෘථිවීශ්වරයෙම් බොහෝ සම්පත් හා උපකරණ ඇතියෙම් ප්‍රතාපවත් රජ වෙමි’ යි කියනුලැබේ නම් මහත්‍වයට තෙල හේතු වෙයි.
49. ජම්බුද්වීපේශ්වර වූයෙම් ඍද්ධිමත් ද යශස්වී ද වෙමි. කෘෂ්ණාභිජාතික වූ ද (පාපකර්‍ම විපාකයෙන් උපන්නා වූ ද) කවරෙක් නම් එය අසා නො පහදනේ ද?
50. එහෙයින් ම අර්‍ත්‍ථය කැමැති මහත්ත්‍වය පතන්නහු විසින් බුදුන්ගේ ශාසනය සිහි කරමින් සද්ධර්‍මය ගුරු කටයුත්තේ ය යි.
7. 2. 1. 10.
[සත්තභරියා සූත්‍රය]
10. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වු අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වහ්න සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ නිවෙස්නට වැඩිසේක. වැඩ පැන වූ අස්නෙහි වැඩහුන්සේක.
එ වෙලායෙහි අනේපිඬුසිටුහුගේ නිවෙස්හි මිනිස්සු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙති. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පස්හි හුන් අනේපිඬුගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ගෘහපතියෙනි, කවරහෙයින් තාගේ ගෙහි මිනිස්සු කෙවුලන් මසුන් පැස තැබූ තැන් සෙයින් උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙත් දැයි.
වහන්ස, සුජාතා නම් වු මෙ ආඪ්‍ය වූ කුල දුවක් කුලයෙකින් ගෙණෙනලදු. (මෝ මාගේ) නැදි යයි කියා හෝ නො ම ගන්නී ය. (මෙ මාගේ) මයිල් යයි කියා හෝ නො ගණී. (මෙ මා) හිමි යි හෝ නො ගන්නී ය. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර නො කරයි. ගුරුකාර නෙකරයි. බුහුමන් නොකරයි. නො පුදයි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදුව ඇමතූසේක. සුජාතාවෙනි, මෙහි එව’යි. වහන්ස, එසේ ය යි සුජාතාකුලදූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පස්හි හුන් සුජාතා කුලදුවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
සුජාතාවෙනි, පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
වධකසමා ය, චෝරීසමා ය, ආර්‍ය්‍යසමා ය, මාතුසමා ය, භගිනීසමා ය, සඛීසමා ය, දාසිසමා ය යි. සුජාතාවෙනි, පුරුෂයාට මේ සත් බිරියෝ වෙත්.
ඔවුනතුරෙන් තී කවරක් වෙහි දැයි?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විතර විසින් මම නො දනිම් මැයි.